අලුතින් හඳුනාගත් කොවිඩ්-19 වෛරසයේ නව Omicron ප්‍රභේදය නිසා ලොව යළිත් අර්බුදයකට

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයකින් හඳුනාගෙන ඇති කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය හේතුවෙන් මේ වනවිට ලොව පුරා කටයුතු යළිත් වටයකට දැඩි අර්බුදයකට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම ප්‍රභේදය මෙතෙක් හමුව ඇති එහි දරුණුම ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා භයානක බවට අදහස් මතුව තිබීම ඊට හේතුව වී තිබේ. ඒ අනුව ඊයේ දිනය වනවිට යළිත් වටයකට ලොව ගුවන් ගමන් අත්හිටුවීම්, ලොක්ඩවුන් සීමා පැනවීම් ඇතුළු තීරණ ගෙන ඇති අතර, මේ හේතුවෙන් වෙළෙඳ පොළ රැසක්ද කඩා වැටී තිබෙනබවත් සඳහන් වෙයි.

පසුගිය සතියේදී දකුණු අප්‍රිකාව සහ බොට්ස්වානා යන රාජ්‍යයන්හිදී හඳුනාගත් මෙම නව කොවිඩ්-19 ප්‍රභේදය විද්‍යාඥයන් විසින් මේ වනවිට Omicron යන ග්‍රීක අක්ෂරය නමින් හඳුන්වා දී තිබේ. මෙම Omicron ප්‍රභේදය කොවිඩ්-19 වෛරසයේ නව විකෘත්‍රියක් වන බවත්, එහි ක්‍රියාකාරීත්වය සහ සම්ප්‍රේෂණය වන වේගය මෙන්ම එම ප්‍රභේදය දැනට ලොව පවතින කොවිඩ්-19 මර්දන එන්නත් සඳහා දක්වන ප්‍රතිරෝධතාව පිළිබඳව අධ්‍යයනය කරමින් පවතින බවත් විද්‍යාඥයන් සඳහන් කරයි.

ඒ අනුව දැනටමත් ලොව එන්නත් නිෂ්පාදකයන් පවා මෙම ප්‍රභේදයට ඔරොත්තු දෙන නව එන්නත් නිපදවීම පිළිබඳව අත්හදා බලමින් සිටින බවත් පැවසෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම රෝග වළක්වා ගැනීම සහ පාලනය පිළිබඳ වන යුරෝපියානු මධ්‍යස්ථානයත් මෙම නව ප්‍රභේදය, දැඩි අවදානයට ලක් කළ යුතු අවස්ථාවක් ලෙස නම් කර තිබේ.

ඒඅනුව ලොව පුරා රටවල් රැසක්ම ලිහිල් කිරීමට බලාපොරොත්තුව සිටි සිය සංචරණ සීමා යළිත් වටයකට ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව වාර්තා පවසයි. එහිදී මූලිකවම ලොව රටවල් දකුණු අප්‍රිකාව සමගින් පවත්වන සියලුම ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කර ඇත.

මේ තත්ත්වයත් සමගින්ම ඊයේ දිනයේදී ලොව කොටස් හුවමාරු රැසක්ම කඩා වැටීමට ලක් වූ අතර, එක්සත් ජනපදයේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් 500 දර්ශකය පෙබරවාරි මාසයෙන් පසුව දිනක් තුළ වාර්තා කළ පහත වැටීමද සටහන් කර ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

එහිදී සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ සමාගම්හි කොටස් දරුණු පසුබැසීමකට ලක්ව ඇත. එසේම පවතින තත්ත්වයත් සමගින්ම ඉල්ලුමේ ඇතිවිය හැකි බාධා නිසා ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ගණන්ද දරුණූ ලෙස පහත වැටී තිබේ.

මේ අතර, විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට අද පෙරවරුවේ සිට එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරය තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට එහි ආණ්ඩුකාර කැතී හොචුල් පියවර ගෙන තිබේ. තවමත් එම නගරය තුළ මෙම නව Omicron ප්‍රභේදය හමුවී නොමැති නමුත්, ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය පාලනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් බව ඇය පවසා තිබේ.

Visits: 286