ඇමති නාමල් සහ Daraz නිර්මාතෘ අතර හමුවක්

Daraz සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Bjarke Mikkelsen සහ තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍ය හා ඩිජිටල් ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (26දා) පැවැත් වී තිබේ.

Daraz සමාගම මේ වසරේදී ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් අරඹා 5 වන වසරද සැමරීය. 2016 වසරේදී එවකට Kaymu.lk ලෙස පැවැති ශ්‍රී ලාංකික විද්‍යුත් වාණිජ වෙබ් අඩවිය අත්පත් කරගනිමින් Daraz.lk ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

අද වන විට විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයේ දැවැන්තයා වන චීනයේ Alibaba සමාගම යටතේ Daraz ලොව රටවල් රැසකම ව්‍යාප්ත වෙමින් සිටියි.

වසර 5 ක් වැනි කෙටි කාලයක් ඇතුලත ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳ අවකාශය බවට පත්වන්නට සමත්ව සිටින Daraz ශ්‍රී ලාංකිකයන් අන්තර්ජාල වෙළෙඳපොළක් තුළගනුදෙනු කාර්යයට හුරු කිරීමට සමත් වූයේ දේශීය ව්‍යවසායකයන් වෙත අන්තර්ජාලයේ අලෙවි අවස්ථා අත්කරදෙමින් දේශීය ආර්ථිය නගාසිටුවන්නට මහඟු දායකත්වයක් සපයමින් සිටින බව පවසයි.

ශ්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැසක් හා දැවැන්ත සමාගම් රැුසක්ද ඇතුළුව අදවනවිට 50,000 කට අධික ව්‍යවසායකයන් පිරිසක් Daraz අවකාශය තුළ අලෙවි කටයුතු සිදුකරනු ලබයි. ශ්‍රී ලාංකීය කාන්තා ප‍්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කරලීම උදෙසා Daraz 10,000 කට අධික කාන්තා ව්‍යවසායිකාවන් පිරිසකට ද අන්තර්ජාලය තුළ තම අලෙවි කටයුතු සිදුකරගැනීමෙහිලා පහසුකම් සලසා ඇත.

2019 වසරේදී ඩයලොග් ආසියාටා සමාගම සතුව පැවැති wOw.lkපාරිභෝගික වෙබ් අඩවියේ කළමනාකාරීත්වය හා ව්‍යාපාර මෙහෙයුම් වගකීම හිමිකරගත් Darazමෙරට විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රයේ තම ස්ථාවරත්වය හා දැවැන්ත ස්වරූපය විදහා දක්වන්නට සමත්විය.

මේ අතර එළැඹෙන LPL (ලංකා ප්‍රීමියර් ලීග්) ක්‍රිකට් තරගාවලියේද නිල ස්ට්‍රීමිං හවුල්කරුවා ලෙසද Daraz තේරීපත්ව සිටියි. Daraz හි App වැඩසටහන තුළ ඇති Daraz Live හරහා කිසිදු ඩේටා ගාස්තුවකින් තොරව තරගාවලිය නැරඹිය හැකි බව පවසයි.

මෙම හමුව සඳහා Daraz සමාගමේ මෙරට නියෝජිතයන් ඇතුළු පිරිසක්ද සහභාගි වී තිබේ. එසේම කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාද මෙම අවස්ථාවට සහභාගිවී තිබේ.

Visits: 203