දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 6 ක සිට එන මගීන්ට මෙරටට ඇතුළුවීම තහනම් කෙරේ

දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියා, සිම්බාබ්වේ හා ස්වාසිලන්තය යන රටවල සිට පැමිණෙන මගීන්ට, මෙරටට ඇතුළු වීම අද (27) මධ්‍යම රාත්‍රී 12 සිට නැවත දැනුම්දෙන තුරු තහනම් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.

දකුණු අප්‍රිකාවෙන් හමුවී තිබෙන නව Omicron නමින් හඳුන්වන නව කොවිඩ් -19 ප්‍රභේදය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත්කළ මෙම නිවේදනයේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවට අමතරව ලොව රටවල් රැසක්ම ඊයේ සිට මෙම රටවල් වෙත සිදු කරන සංචරණ අවලංගු කිරීමටත් පියවර ගෙන තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියට පෙරාතුව ඉහත සඳහන් කළ රටවල සිට පැමිණෙන මගීන් දින 14 නිරෝධායනයට යොමු විය යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

එසේම අදාළ රටවල සිට අතරමැදි ගුවන් ගමන් සඳහා පැමිණෙන මගීන්ට ද මෙරටට ඇතුළුවීම තහනම් වන බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ වනවිට මෙම ප්‍රභේදය ඉහත සඳහන් කළ රටවලට අමතරව තවත් රටවල් කිහිපයකදීම හමුවී තිබේ.

Visits: 92