JKH තුළ ඩො. මිලියන 80ක ආයෝජනයකට ADB වෙත යෝජනාවක්

මෙරට මුල් පෙළේ ලැයිස්තුගත සමාගම් අතරින් එකක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම තුළ එක්සත් ජනපද ඩොලර් මිලියන 80ක ආයෝජනයක් සිදු කිරිමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙත යෝජනාවක් සිදු කරන බව එම සමාගම පවසයි.

පෞද්ගලික කොටස් මිලදී ගැනීමක් ලෙස මෙම ආයෝජනය සිදු කිරිමට යෝජනා වී ඇති අතර, පසුගියදා පැවැත් වුණු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මෙම ආයෝජන යෝජනාව සඳහා වන අනුමැතිය ලබා දීම සිදුව තිබෙන බව සමාගමේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ලිපියක් මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව මෙම ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 80කට සමාන වන ශ්‍රී ලංකා රුපියල් මුදල් වටිනාකමින් යුත් වන බවත්, එහිදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් ආසියානු සංවර්ධන බැංකුව වෙත සිය නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 122‍්,500,000ක ප්‍රමාණයක් නිකුත් කිරිමටත් සැලසුම් කර තිබෙන බවත් සඳහන් වෙයි.

මෙහිදී අදාළ කොටස් නිකුත් කිරීම අවස්ථා දෙකකදී සිදු කිරීම සැලසුම වී ඇති අතර, මෙය “යෝජිත පෞද්ගලික නිකුතුවක්” ලෙස නම් කර තිබේ.

ඒ අනුව මෙහි පළමු අදියර යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක් වටිනා කොටස් ප්‍රමාණයක් ADB වෙත නිකුත් කිරීමක් සිදු කරන අතර, මෙම කොටස් ගනුදෙනු කළ නොහැකි/පැවරිය නොහැකි කොටස් ලෙස සැලකෙයි.

මෙහිදී 2021 නොවැම්බර් 19 වැනි දින සමාගමේ කොටසක වටිනාකම ලෙස පැවැති රුපියල් 154.50කට මෙම කොටසක් මිල කරන බවත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

එසේම මෙම පළමු අදියරේදී නිකුත් කරන කොටස් ප්‍රමාණය තීරණය කිරීම එම අවස්ථාවේදී පවතින විදේශ විනිමය අනුපාත අනුව තීරණය වන බවත්, උදාහරණ ලෙස එක්සත් ජනපද ඩොලරයේ අගය එම අවස්ථාවේදී රුපියල් 202.192ක් ලෙස පැවතියේ නම් නිකුත් කරන කොටස් සංඛ්‍යාව 65,434,304ක් වනු ඇති බවත් සඳහන් වෙයි.

එසේම මෙම නිකුතුවෙන් මාස 12ක කාලයක් තුළදී තවත් අමතර තවත් නව සාමාන්‍ය කොටස් සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාවද ADB සතුව පවතින අතර එහිදී එක්සත් ජනපද ඩොලර් මිලියන 30කට සමාන ශ්‍රී ලංකා රුපියල් වටිනාකමින් යුත් කොටස් නිකුත් කිරීම සිදු කරයි.

මෙය එම නිකුතුවේ දෙවැනි අදියර ලෙස හැඳින්වෙයි. මෙම අවස්ථාවේදී කොටසක අගය රුපියල් 165.00ත් 200.00ත් අතර අගයක් ගනු ඇතැයිද ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් මෙම යෝජිත පෞද්ගලික කොටස් නිකුතුව සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ මෙන්ම කොළඹ කොටස් හුවමාරුවෙහිද අනුමැතිය හිමිව යුතුව තිබේ. එසේම සමාගමේ අතිවිශේෂ මහා සභා රැස්වීමකදී මෙම නිකුතුව සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමටද සමාගම බලාපොරොත්තුව සිටියි. මීට අමතරව ADB හි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියද හිමිවිය යුතුව ඇති බවත් සඳහන් වෙයි.

මේ අතර ADB වෙත සිදු කරන මෙම යෝජිත පෞද්ගලික නිකුතුව පිළිබඳව අනාවරණයසිදු කරන අවස්ථාව වනවිට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 63,121,732,310.83ක් වන බවත්, ගනුදෙනු සඳහා නිකුත් කර තිබෙන සාමාන්‍ය කොටස් සංඛ්‍යාව 1,319,776,451ක් වන බවත් එම සමාගම වැඩි දුරටත් සඳහන් කර සිටියි.

Visits: 410