ලොව බොරතෙල් මිල පාලනයට ජනපති බයිඩන් සිය බොරතෙල් සංචිත නිදහස් කිරීමට යයි

ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල පාලනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය තමන්ගේ ක්‍රමෝපායික සංචිතයේ ඇති බොරතෙල් බැරල් මිලියන 50ක් ඉදිරි මාස කිහිපයේදී වෙළෙඳ පොළ වෙත නිකුත් කිරීමට සූදානමින් සිටින බව පවසයි.

ජනපති ජෝ බයිඩන්ගේ තීරණයකට අනුව මෙම කටයුතු සිදු වන බව ධවල මන්දිරය අද නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

ඒ අනුව මේ යටතේ ඉදිරි මාස කිහිපයේදී මෙම සංචිත අතරින් බොරතෙල් බැරල් මිලියන 32ක් නිකුත් කිරීම සිදුවනු ඇති බවත්, ඉතිරි බොරතෙල් බැරල් මිලියන 18 මීට පෙර අලෙවිය සඳහා අනුමැතිය ලබා දුන් බොරතෙල් ඉක්මණින් වෙළෙඳපොළ පොළට නිදහස් කිරීම හරහා නිකුත් කෙරෙනු ඇතැයිද සඳහන් වෙයි.

සෞදි අරාබිය, රුසියාව ඇතුළු ලොව විශාලතම බොරතෙල් නිෂ්පාදන රාජ්‍යයන්ගෙන් සමන්විත OPEC+ සංවිධානයේ ක්‍රියාකාරකම් හේතුවෙන් ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල ඉහළ යාම පාලනය සඳහා ජනපති බයිඩන් මෙම තීරණය ගෙන තිබෙන බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි.

එසේම මෙහිදී චීනය, ජපානය, ඉන්දියාව, දකුණු කොරියාව සහ එක්සත් රාජධානිය යන රාජ්‍යයන්ද මේ සඳහා එක්වීමට නියමිතව සිටින බව සඳහන් වෙයි. එහෙත් මෙතෙක් එම රටවල් නිදහස් කරන බොරතෙල් සංචිත ප්‍රමාණය මෙතෙක් නිවේදනය කර නැත.

මෙම රාජ්‍යයන් සියල්ලම ලොව වැඩිම බොරතෙල් පරිභෝජනයක් සහිත රටවල් වන අතර, එම සෑම රටක්ම තමන් සතු බොරතෙල් සංචිත මෙලෙස වෙළෙඳ පොළ වෙත නිකුත් කරමින් මෙම බොරතෙල් මිල පාලනයට පියවර ගනු ඇතැයි සඳහන් වෙයි.

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ යාමත් සමගින්ම අද වනවිට එක්සත් ජනපදයේ ඉන්ධන මිල අධික ලෙස ඉහළ යමින් තිබේ. ඒ අනුව මූලිකවම ඉදිරි උත්සව සමය ඇතුළුව කාලසීමාවේදී රට තුළ ඉන්ධන මිල පාලනය වෙනුවෙන් බයිඩන් මෙම තීරණය ගෙන තිබෙන බව පැවසෙයි.

මෙරට වේලාවෙන් අද පස්වරු 6.30 වන විට ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 79.69ක් ලෙස සටහන්ව තිබුණි. පසුගිය සිකුරාදා එය ඩොලර් 82ක් බවට පත්ව තිබුණි. එසේම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක මිල අද පස්වරුව වනවිට ඩොලර් 76.30ක් ලෙස සටහන්ව තිබූ අතර, පසුගිය සිකුරාදා එය ඩොලර් 79ක අගයක පැවතුණි.

Visits: 223