LOCH වෙත සිය කොටස් පැවරීම පිළිබඳව LOLC පැහැදිලි කිරීම දර්ශක අගයන් ඉහළ දමයි

අද (නොවැම්බර් 22) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඉතා සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම LOLC සමූහය පසුගිය සිකුරාදා සිදුකළ සිය මූල්‍ය සමාගම් තුනක කොටස් LOCH වෙත හුවමාරු කිරීම පැහැදිලිව අනාවරණය කිරිම එම සමූහයේ සමාගම් සඳහා වන ආකර්ෂණය ඉහළ යාමට හේතු වීම ඊට දායක වී තිබේ.

ඒ අනුව විශේෂයෙන්ම පසුගිය සිකුරාදා ඇතුළුව පසුගිය දින කිහිපයේදීම වෙළෙඳ පොළ තුළ සිදු වූ අලාභයන් මග හරවමින් අද ASPI කැපී පෙනෙන ලෙස ඉහළ යාම සිදු විය. එසේම LOFC සමාගම දිනයේ පිරිවැටුමෙන් 38%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 10,547.43ත් ඒකක 10,880.15ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 10,817.24ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (නොවැම්බර් 19) දිනයට සාපේක්ෂව ඒකක 158.52ක් එනම් +1.49%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 94ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 97ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+94.32), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+25.02), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+18.82), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+14.28), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+6.44), ආසිරි හොස්පිටල්ස් පීඑල්සී ASIR (-6.88), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-4.12), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-3.39), හේලීස් පීඑල්සී HAYL (-2.69), ජෝන් කීල්ස් හොටෙල්ස් පීඑල්සී KHL (-2.28) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,698.12ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (නොවැම්බර් 19) ‍ට සාපේක්ෂව ඒකක 23.54ක එනම් +0.64%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 9.39ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (නොවැම්බර් 19) වාර්තා කළ රුපියල් බිලියන 9.39 ට  සාපේක්ෂව 34.5% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.83ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 63.06%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 59.8ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 113.04ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 53.24කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 48.39ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 16.09කි. එසේම බොගවන්තලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 80.13ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,952ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 48%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ප්‍රවාහන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 984ක සහ රුපියල් මිලියන 649ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 580