සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සහ මිත්‍ර ඉනොවේෂන් එක්වී ග්‍රාමීය ප්‍රදේශවල ඩිජිටල් තාක්ෂණ දැනුම නංවයි

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් (Sarvodaya Development Finance – SDF) සහ මිත්‍ර ඉනොවේෂන් (Mitra Innovation) එක් වී, පියවර කිහිපයක් ඔස්සේ කෙත්සිරිගම ගම්මානයට නවීන ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට පසුගියදා කටයුතු කළ බව පවසයි. මෙමගින් ගම්මානයේ ජනතාවට තම දැනුම සහ ආර්ථික කටයුතු පුළුල් කරගැනීමට මහඟු අවස්ථාවක් උදා වේ.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම, මිත්‍ර ඉනොවේෂන් සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, මූලික වශයෙන් ඩිජිටල් ඉගෙනුම් අවස්ථා සහ රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් හවුල්කාරීත්වයක් වන අතර, මෙම වැඩසටහන ග්‍රාමීය ප්‍රදේශ වල තොරතුරු හා සන්නිවේදන අධ්‍යාපනය ප්‍රවර්ධනය කරයි.

මෙය තරුණ පරපුරට වෘත්තිකයන් ලෙස තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඇතුළත් වීමට අවස්ථාව සලසා දීමේ පුළුල් ව්‍යාපෘතියක එක් අදියරකි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව්‍ය ව්‍යාපාරික විසඳුම් නිර්මාණ සමාගම් අතරින් එකක් වන මිත්‍ර ඉනොවේෂන් සමාගම, ව්‍යාපාර වලට අතිශයින් ප්‍රයෝජනවත් වන සුවිශේෂී හා සහනදායී විසඳුම් එකතුවක් මේ වනවිට හඳුන්වා දී ඇත. පෞද්ගලික හා රාජ්‍ය අංශ වල පුළුල් පරාසයක පැතිරුණු අත්දැකීම් සමගින් මිත්‍ර ඉනොවේෂන් සමාගම, තම පාරිභෝගිකයන්ගේ ඩිජිටල් පරිවර්තන ගමන් මගේ සියලුම අදියර වලදී ඔවුන්ට අත්වැලක් වෙයි.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සහ මිත්‍ර ඉනොවේෂන් අතර හවුල්කාරීත්වයේ එක් වැදගත් පියවරක් ලෙස, මාස 4 ක කාලයක් පුරා විහිදෙන පරිගණක නිර්මාණකරණ පාඨමාලාවක් තුළින්, විවිධ ජන කණ්ඩායම් නියෝජනය වන පරිදි, දක්ෂතා සපිරි තරුණ තරුණියන් 20 දෙනෙකු තෝරාගැනෙනු ඇත.

ප්‍රධාන වශයෙන් පාසල් අධ්‍යාපනය අවසන් කළ පුද්ගලයන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනෙහි මූලික කටයුතු සඳහා, සමාගම් දෙක නියෝජනය කරන ස්වේච්ඡා සාමාජික සාමාජිකාවෝ 25 දෙනෙකු පසුගියදා අම්පාර ප්‍රදේශය වෙත පැමිණියහ. සති 12 ක කාලයක් පුරා විහිදෙන මූලික පාඨමාලාවකින් ආරම්භ වන මෙම වැඩසටහන, මිත්‍ර ඉනොවේෂන් හා සම්බන්ධ ස්වේච්ඡා සේවකයන් සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල දායකත්වය යටතේ ක්‍රියාත්මක වේ. වැඩසටහන අවසානයේදී පෙන්නුම් කරන දක්ෂතා අනුව, මිත්‍ර ඉනොවේෂන් හි මාස 6 ක සීමාවාසික පුහුණුවක් සඳහා සිසු සිසුවියන් 10 දෙනෙකුට අවස්ථාව හිමි වනු ඇත.

කෙත්සිරිගම ජනතාවට නවීනතම ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම මගින් ප්‍රතිලාභ රාශියක් අපේක්ෂා කෙරේ. රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකිවන ආකාරයට ප්‍රදේශයේ තරුණ තරුණියන් සවිබල ගැන්වීම සහ ඔවුන්ට ඩිජිටල් නිර්මාණකරණය පිළිබඳව දැනුම හා පුහුණුව ලබාදීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම කොළඹ සහ අනෙකුත් ප්‍රධාන නගරවල පිහිටි සමාගම් හා ආයතන වල රැකියා අවස්ථා හිමිකර ගැනීමටටද මෙම තරුණ තරුණියන්ට අවස්ථාව ලැබෙනු ඇත.

“ඩිජිටල්කරණය සහ ඩිජිටල් හැකියාවන් වර්ධනය කිරීම තුළින් සදාචාරාත්මක මූල්‍ය සම්පාදනය සහ ආර්ථික අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීම සඳහා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සෑම විටම විශාල අවධානයක් යොමුකරනවා. එම උත්සාහයේ තවත් පියවරක් වෙනුවෙන් මෙලෙස මිත්‍ර ඉනොවේෂන් සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට විශාල සතුටක්.” සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා පවසයි.

මිත්‍ර ඉනොවේෂන් හි සම-නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (ආසියාව) ධම්මික ගනේගම මහතා අදහස් දක්වමින් “ලොව පුරා තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතින පසුබිමක් තුළ, ඉහළ වැටුප් ලබන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන් නිර්මාණය කරගැනීමට ශ්‍රී ලංකාවට අගනා අවස්ථාව උදා වී තිබෙනවා. මේ ඔස්සේ තරුණ පරපුරේ ජීවන රටාවන් වැඩිදියුණු කරන අතරම, යහපත් සමාජයීය වෙනසකට මුලපිරීමටත් පුළුවන්. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම ග්‍රාමීය ප්‍රදේශ පුළුල් ලෙස ආවරණය කරන නිසා සහ, ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් දැනටමත් වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා ඇති නිසා, මේ සුවිශේෂී වැඩසටහන වෙනුවෙන් එම සමාගම හා අත්වැල් බැඳගැනීම ඉතාමත් ඵලදායී පියවරක් වනු ඇති බව මිත්‍ර ඉනොවේෂන් සමාගමට වැටහුණා.” යනුවෙන් පවසයි.

Visits: 121