hSENID Business Solutions Ltd මූලික මහජන කොටස් නිකුතුව දෙසැම්බර් 03 දා

ව්‍යාපාර සඳහා මෘදුකාංග විසඳුම් ලබා දෙන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන hSENID Business Solutions Ltd සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවිම සඳහා සැලසුම් කර තිබෙන බව පවසයි.

ඒ අනුව එම සමාගම මගින් සිදු කරන මූලික මහජන කොටස් නිකුතුව (IPO) ලබන දෙසැම්බර් 03 වැනිදා මිලදී ගැනීම සඳහා විවෘත කිරීමට නියමිතව ඇතැයි ද කොළඹ කොටස් හුවමාරුව අනාවරණය කරයි.

මෙහිදී සමාගම මගින් සිය නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 55,339,076ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, එහිදී කොටසක් රුපියල් 12.50ක් බැගින් මිල කෙරී තිබේ.

මෙම මූලික මහජන කොටස් නිකුතුවේ ප්‍රධාන කළමනාකරුවන් ලෙස NDB Investment බැංකුව කටයුතු කරන අතර, සම කළමනාකරුවන් ලෙස CT CLSA Capital (පෞද්) සමාගම ක්‍රියා කරයි.

hSENID Business Solutions Ltd හි මෙම මූලික මහජන කොටස් නිකුතුවට අදාළව සිදු කරන එම සමාගමේ සංස්ථා ප්‍රකාශය ලබන නොවැම්බර් 25 වැනිදා ඉදිරිපත් කෙරෙනු ඇතැයිද සඳහන් වෙයි.

1997 වසරේදී hSenid Software International ලෙස සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් ආරම්භ වුණු එම සමාගම අද වනවිට දේශීය දක්ෂතාවන් ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙත රැගෙන ගිය සමාගමක් බවට පත්ව ඇතැයි සඳහන් කරයි.

අද වනවිට hSenid සතුව ලොව රටවල් 40ක් පුරා විසිරුණු එකිනෙකට වෙනස් කර්මාන්ත 20කට ආසන්න සංඛ්‍යාව ගනුදෙනුකරුවන් 1,300කට අධික පිරිසක් සිටින බවත්, ඉදිරියේදී මානව සම්පත් තොරතුරු පද්ධති සම්පාදනයේ ගෝලීය ශ්‍රී ලාංකික සමාගමක් බවට පත්වීම සිය අරමුණ බවත් එම සමාගම පවසයි.

දිනේෂ් සපරමාදු මහතා hSenid සමාගමේ නිර්මාතෘවරයා මෙන්ම සභාපතිවරයාද වෙයි.

Visits: 854