මහ බැංකුවේ මුදල් මණ්ඩලය නව සහකාර අධිපතිවරුන් සිව් දෙනෙකු පත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය විසින් නව සහකාර අධිපතිවරුන් සිව් දෙනෙකු පත් කළ බව නිවේදනය කර සිටියි. පසුගිය නොවැම්බර් 17 වැනිදා පැවැති රැස්වීමේදී මෙම නව පත් කිරීම සිදුව තිබේ.

ඒ අනුව කේ.ජී.පී. සිරිකුමාර, ඩී.කුමාරතුංග, යූ.එල්. මුතුගල සහ සී.පී.එස්.බණ්ඩාර යන මහත්ම මහත්මීන් මෙලෙස සහකාර අධිපති ධුරයට උසස් කිරීම සිදු කර තිබේ.

මේ අතරින් කේ.ජී.පී. සිරිකුමාර මහතා මහ බැංකුව තුළ වසර 21කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර, එහි නීති හා අනුකූලතා දෙපාර්තමේන්තුවේ සහ ලේකම් දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු දරා තිබේ.

සිරිකුමාර මහතා ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිපති උපාධි ලබා ඇති අතර, ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියක්ද ලබා තිබේ. නීතීඥයෙකු වන ඒ මහතා එක්සත් රාජධානියේ අනුකූලතා සංගමයේ සාමාජිකත්වයද දරන අතර මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ජාත්‍යන්තර ඩිප්ලෝමාව ලබා තිබේ.

ධර්මසිරි කුමාරතුංග මහතා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි වසර 30කට අධික කාලයක් සේවය කර ඇති අතර, 2016 වසරේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට පෙර ආර්ථික පර්යේෂණ, බැංකු අධ්‍යයන කේන්ද්‍රය, තොරතුරු තාක්ෂණ සහ කළමනාකාරීත්ව විගණන යන දෙපාර්තමේන්තුව විවිධ තනතුරු දරා තිබේ.

කුමාරතුංග මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාපති උපාධියද, එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී උපාධියද ලබා ඇත. තවද ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ලබා ඇත.

යූ.එල්. මුතුගල මහත්මිය මහ බැංකුවේ ලේකම්, බැංකු අධීක්ෂණ රාජ්‍ය ණය, ජාත්‍යන්තර මෙහෙයුම්, අභ්‍යන්තර විගණන, මූල්‍ය පද්ධති ස්ථායිතා, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ යන දෙපාර්තමේන්තුවල විවිධ තනතුරු දරමින් වසර 30කට වැඩි කාලයක් සේවය කර තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාපති උපාධිධාරිනියක් වන ඇය, එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනයේ ආශ්‍රිත සාමාජිකාවක්ද වෙයි. එසේම ඇය මූළ්‍ය වෙළෙඳ පළ සංගමයේ ACI ගනුදෙනු සහතිකයද ලබා ඇතැයි මහ බැංකුව පවසයි.

සී.පී.එස්. බණ්ඩාර මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 24කට වැඩි පළපුරුද්දක් ඇති නිලධාරියෙකු. ඔහු මූල්‍ය පද්ධති ස්ථායිතාව, ආර්ථික සහ මිල ස්ථායිතාව, ආයතනික සේවා, නියෝජිත කාර්යයන්, ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්කරණය, ආයතනික අවදානම් කළමනාකරණය සහ උපාය මාර්ගික සැලසුම් යන ක්ෂේත්‍රවල කටයුතු කර තිබේ. ඔහු අවදානම් කළමනාකරණය, ප්‍රතිපත්ති සමාලෝචන සහ නිරීක්ෂණ, ගෙවීම් සහ පියවීම්, රාජ්‍ය ණය සහ තෙරතුරු තාක්ෂණ යන දෙපාර්තමේන්තුවල සේවය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ චාර්ල්ස් ස්ටර්ට් විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාපති උපාධියක්ද, ඔස්ට්‍රේලියාවේ මොනෑෂෟ විශ්වවිද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ තාක්ෂණවේදී උපාධියක්, මහ බැංකුකරණය පිළිබද ඩිප්ලෝමාවක්ද ලබා ඇති ඔහු, ශ්‍රී ලංකා පරිගණක සංගමයේද සාමාජිකයෙකි.

Visits: 106