LOLC සිය සමාගම් තුනක කොටස් LOLC සිලෝන් හෝල්ඩිංග්ස් වෙත පවරයි

කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය සමාගමට අනුබද්ධ සමාගම් තුනක් තුළ තිබූ සිය කොටස් බිලියන 8.8ක ප්‍රමාණයක් අලුතින් පිහිටවූ LOLC සිලෝන් හෝල්ඩිංග්ස් ලිමිටඩ් (LOCH) සමාගම වෙත හුවමාරු කර එසේත් නැත්නම් පවරාදීමක් සිදු කර ඇතැයි පවසයි.

මෙහිදී ලැයිස්තුගත විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් තුනක් වන LOLC ෆිනෑන්ස් පීඑල්සී (LOFC.N0000) , කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්සි පීඑල්සී (CLC.N0000) සහ LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (NIFL.N0000) යන සමාගම්වල කොටස් මෙලෙස හුවමාරු කර තිබේ.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ මෙම කොටස් හුවමාරුව සිදුව ඇතැයි LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

ඒ අනුව LOLC ෆිනෑන්ස් පීඑල්සී හි කොටස් බිලියන 2.4ක් (2,351,313,562ක්) මෙය සමාගමේ කොටස් හිමිකාරීත්වයේ ප්‍රතිශතයක් ලෙස 44.79%ක්. කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි කොටස් බිලියන 6.3ක් (6,308,876,426ක් මෙය සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 98.92%ක් සහ LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීල්සී හි කොටස් මිලියන 132ක් (132,180,572ක්) ක් ලෙස මෙම හුවමාරුව සිදුව තිබෙන බව LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී අනාවරණය කරයි.

මේ සමගම හුවමාරුවී ඇති සමස්ත කොටස් ප්‍රමාණය කොටස් 8,792,370,560ක් ලෙස ගණන් බලා තිබේ.

සමාගම මගින් මෙම කොටස් හුවමාරුව පිළිබඳව පසුගිය ජනවාරි මාසයේදී පළමුවරට අනාවරණය කෙරුණු අතර, අලුතින් පිහිටවුණු LOLC සිලෝන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පසුගියදා සිදුකළ ණයකර නිකුතුවට අදාළ සංස්ථා ප්‍රකාශනය තුළත් මෙම හුවමාරුව පිළිබඳව සඳහන්ව තිබුණි.

ඒ අනුව මෙම ණයකර නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් මගින් මෙම සමාගම්වල කොටස් මෙලෙස LOLC සිලෝන් හෝල්ඩිංග්ස් වෙත අත්පත් කරගැනීමක් සිදු කරගන්නා බව එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණි.

මෙම හුවමාරුවේදී සිදුවුණු සියලුම කොටස් ගනුදෙනු පිළිබඳ අනුමැතිය සමාගමේ එකම කොටස් හිමිකරුවා ලෙස LOLC සමාගම මගින් සිදු කර ඇතැයිද පවසයි.

එසේම මෙම ගනුදෙනුව LOLC සිලෝන් හෝල්ඩිංග්ස් සමාගමේ සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනු විවරණ කමිටුව මගින් අවධානයට යොමු කර ඇති බවත්, මෙය සාමාන්‍ය වාණිජමය නියමයන් යටතේ සිදුවූවක් වන බවත්, මේ හරහා සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අභිමතය වෙත කිසිදු හානියක් සිදු නොවන බවත් අවධාරණය කර තිබේ.

මෙලෙස සිය මූල්‍ය සමාගම් තුනක කොටස් හුවමාරු කිරිම හරහා පිහිටුවන LOLC සිලෝන් හෝල්ඩිංග්ස් සමාගම විදෙස් ආයෝජන ආකර්ෂණය කරගැනීමේ වේදිකාවක් ලෙස යොදා ගැනීම LoLC හෝල්ඩිංග්ස් අදහස වී තිබේ. ඒ අනුන ඉදිරියේදී එම නව සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්ගුත කිරීමක් සිදුවන බවත් සමාගම පවසා තිබේ.

Visits: 1934