පිරිවැය කාර්යක්ෂමතාවය තුළින් කොමර්ෂල් බැංකුව මුල් මාස 09 තුළ ඉහළ වර්ධනයක් වාර්තා කරයි

වසරේ තුන්වන කාර්තුව තුළදී ඇතැම් කාර්යසාධන අංශවල වර්ධනය මන්දගාමී වුව ද 2021 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස 09 තුළදී කොමර්ෂල් බැංකු සමූහය සමතුලිත වර්ධනයක් වාර්තා කිරීමට සමත්වී ඇතැයි පවසයි.

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව සහ එහි අනුබද්ධ ආයතන වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය විසින් මෙම කාලසීමාව තුළදී රුපියල් බිලියන 120.050 ක දළ ආදායමක් වාර්තා කර තිබෙන අතර එය 2020 වසරේ අදාළ මාස 09 ට සාපේක්ෂව 5.66% ක වර්ධනයකි. 2021 පළමු අර්ධය අවසානයේදී දළ ආදායම 6.34%කින් වර්ධනය වූ නමුත් තුන්වන කාර්තුවේදී සමූහයේ දළ ආදායම වර්ධනය වූයේ 4.34% කිනි.

දළ ආදායම තුළ විශාලම කොටස වන පොලී ආදායම මේ කාලය තුළදී 3.43% කින් වර්ධනය වී රුපියල් බිලියන 96.227 ක් වූ බවත් 2021 ජුනි දක්වා කාලය තුළදී එම වර්ධනය 3.20% ක් වූ බව සමූහය සඳහන් කරයි. මේ අතර, පොලී වියදම වසරේ පළමු අර්ධයේදීට වඩා අඩු ප‍්‍රතිශතයකින් අඛණ්ඩව පහළ වැටී ඇත. මේ අනුව, සලකා බලන මාස 09 ක කාලය තුළදී බැංකු සමූහයේ පොලී වියදම 13.42% කින් අඩුවී රුපියල් බිලියන 48.693 ක්වී තිබෙන නිසා රුපියල් බිලියන 47.533 ක ශුද්ධ පොලී ආදායමක් ලබාගැනීමට හැකියාව ලැබී ඇත. එය 29.18% ක වැඩිවීමකි.    

මේ අතර, සලකා බලන මාස 09 ක කාලය තුළදී බැංකු සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායම් රුපියල් බිලියන 68.951 ක්වී තිබෙන අතර එය 23.53% ක වර්ධනයක් වේ. මෙහිදී, කැපී පෙනෙන කාරණයක් වන්නේ සලකා බලන කාල සීමාව තුළදී සමූහය විසින් හානි පූරණ ගාස්තු ලෙස වෙන්කළ මුදල් ප‍්‍රමාණය රුපියල් බිලියන 17.997 ක් දක්වා සීමා කරමින් 2021 පළමු අර්ධය තුළදී මෙම වෙන්කිරීම් ලබා තිබූ 47.44% ක වර්ධනය වෙනුවට 7.56% ක වර්ධනයක් ලබා තිබීමයි. මේ නිසා, සලකා බලන කාල සීමාව තුළදී සමූහයේ ශුද්ධ මෙහෙයුම් ආදායම 30.37% කින් වර්ධනය වී රුපියල් බිලියන 50.954 ක්වී ඇත. එසේම, සිය මෙහෙයුම් වියදම් වැඩිවීම 8.39% ක් දක්වා (2021 පළමු අර්ධය තුළදී 8.42% කි) අඩුකර ගැනීමට සමූහයට හැකිවී තිබෙන නිසා සලකා බලන මාස 09 ක කාලය තුළදී මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 1.647 කින් පමණක් වර්ධනය වී රුපියල් බිලියන 21.280 ක්වී තිබේ.       

සලකා බලන කාල සීමාව තුළදී මූල්‍ය සේවා මත අගය එකතු කිරීමේ බදු වලට පෙර මෙහෙයුම් ලාභය 52.55% කින් රුපියල් බිලියන 29.674 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එය 2021 පළමු මාස හය තුළදී ලබාගත් 41.09% ක වර්ධනයට වඩා ඉහළ වර්ධනයක් වීම කැපීපෙනේ.

කොමර්ෂල් බැංකුවේ සභාපති, විනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ/සමුහ ප‍්‍රධාන විධායක නිලධාරී, එස්. රෙන්ගනාදන් මහතා

මෙම මූල්‍ය වාර්තා පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, විනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතා සඳහන් කරන්නේ ගාස්තු පදනම් කරගත් මෙහෙයුම් කටයුතු වලින් සහ අනිකුත් මෙහෙයුම් වලින් ලැබෙන ආදායම් විචලනයට ලක්වීමෙන් සිදුවන බලපෑම ප‍්‍රධාන බැංකුකරණ මෙහෙයුම් කටයුතුවල ශක්තිමත් සහ සමබර වර්ධනයක් ලබාගැනීම තුළින් සමනය කරගැනීමට බැංකුවට තිබෙන ඉහළ හැකියාව මේ තුළින් පෙන්නුම් කරන බවයි. ‘සෑම කාර්තුවකදීම සිය ප‍්‍රධාන කාර්ය සාධන දර්ශකයන් ඉහළින් පවත්වාගෙන යාමට හෝ වර්ධනය කරගැනීමට බැංකුව සමත්වී තිබෙනවා. දේශීය ආර්ථිකයට වැදගත් බැංකුවක් ලෙස අපගේ මෙහෙවර අඛණ්ඩවම ඉදිරියට රැගෙන යාමට අවශ්‍ය මූල්‍ය ස්ථාවරත්වය සහ ඉහළ තත්ත්වය මේ නිසා බැංකුවට ලැබී තිබෙනවා,’ යනුවෙන් ඔහු පැවසීය.  

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/සමුහ ප‍්‍රධාන විධායක නිලධාරී, එස්. රෙන්ගනාදන් මහතා පැවසුවේ බැංකුව සිය CASA අනුපාතය, ආදායමට සාපේක්ෂව වියදම් අනුපාතය, හානි පූරණය සඳහා වෙන්කිරීම් සහ හානි පූරණ ආවරණය සලකා බලන කාල සීමාව තුළදී අඛණ්ඩවම දියුණු කරගැනීමට සමත්වූ බවයි. එසේම, වසරේ තුන්වන කාර්තුව තුළදී හානි පූරණය සහ අනිකුත් අලාභ වෙනුවෙන් වෙන්කළ ගාස්තු කැපී පෙනෙන ලෙස 41.87% කින් අඩුකර තිබෙන බවද හෙතෙම අනාවරණය කළේය. ‘පවතින අසීරු තත්ත්වය හමුවේ අපගේ ගනුදෙනුකරුවන්ට අඛණ්ඩවම සහන ලබාදෙන අතරම ලබා තිබෙන මෙම විශිෂ්ට දර්ශකයන් මගින් බැංකුකරණ මූලධර්මයන්ට අනුගත වීමට අප විසින් දක්වා තිබෙන දැක්ම පෙන්නුම් කරනවා,’ යනුවෙන් රෙන්ගනාදන් මහතා මෙහිදී පැවසීය. ‘බැංකු සමූහය 2020 සම්පූර්ණ වසර තුළ ලැබූ කාර්යසාධනය 2021 තුන්වන කාර්තුව අවසන් වනවිට පසුකිරීමට හැකිවීම කැපී පෙනෙනවා. එහිදී, පොලී අන්තරය, වත්කම් වලට අදාළ ලාභය සහ කොටස් වලට අදාළ ලාභය වර්ධනය කර ගැනීමට බැංකු සමූහයට හැකි වුණා.’      

මෙම කාල සීමාව තුළදී බැංකු සමූහය විසින් මූල්‍ය සේවා වෙනුවෙන් රුපියල් බිලියන 4.608 ක අගය එකතු කිරීමේ බදු රජයට ගෙවා තිබෙන අතර එය 50.55% ක වර්ධනයක් බව බැංකු සමූහය සඳහන් කරයි. මේ නිසා, සලකා බලන කාල සීමාව තුළ බදු වලට පෙර ලාභය රුපියල් බිලියන 25.067 ක් දක්වා 52.90% කින් වර්ධනය වී තිබේ. මේ අතර, ආදායම් බදු අනුපාත අඩුවීම සමඟ ආදායම් බදු 15.92% කින් වර්ධනය වී රුපියල් බිලියන 6.049 ක්වී ඇත. මේ හේතුවෙන් සලකා බලන කාල සීමාව තුළදී බැංකු සමූහයේ බදු වලට පසු ලාභය 70.17% කින් වර්ධනය වී රුපියල් බිලියන 19.017 ක්වී තිබේ. බැංකු සමූහය විසින් 2020 සම්පූර්ණ වසර සඳහා ලබාගත් ශුද්ධ ලාභයට වඩා මෙය රුපියල් බිලියන 1.931 කින් හෝ 11.30% කින් වර්ධනය වී තිබීම කැපීපෙනේ. බැංකු සමූහය විසින් සලකා බලන මාස 09 තුළදී රජයට රුපියල් බිලියන 10.981 ක්  බදු මුදල් ලෙස ගෙවා තිබේ.      

කොමර්ෂල් බැංකුව වෙන්ව ගත්විට සලකා බලන මාස 09 තුළදී බැංකුව බදු වලට පෙර රුපියල් බිලියන 24.425 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය 56.91% ක වර්ධනයකි. එසේම, බැංකුව මෙම කාලයේදී බදු වලට පසු රුපියල් බිලියන 18.606 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එහි වර්ධනය 75.61% ක් වේ.   

මේ අතර, බැංකු සමූහයේ සමස්ත වත්කම් සලකා බලන මාස 09 කාලය තුළදී රුපියල් බිලියන 200 කින් හෙවත් 11.35% කින් රුපියල් ටි‍්‍රලියන 1.962 ක් දක්වා 2021 සැප්තැම්බර් 30 වනදා වනවිට වර්ධනය වී ඇත.

එසේම, මෙම මාස 09 තුළදී දළ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 105.195 කින් හෙවත් 10.94% කින් රුපියල් ටි‍්‍රලියන 1.067 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එය සාමාන්‍යයක් ලෙස මාසයකට රුපියල් බිලියන 11.688 ක වර්ධනයකි. පෙර වසරට සාපේක්ෂව බැංකුවේ ණය පොත 12.36% ක වර්ධනයක් ලබාගෙන තිබේ. මෙම කාලය තුළදී බැංකු සමූහයේ සමස්ත තැන්පතු රුපියල් බිලියන 161.272 කින් හෙවත් 12.53% කින් වර්ධනය වූ අතර එය සාමාන්‍යයක් ලෙස මසකට රුපියල් බිලියන 17.919 ක වර්ධනයක් බව බැංකු සමූහය සඳහන් කරයි. මේ අනුව, 2021 සැප්තැම්බර් 30 වනදා වනවිට බැංකු සමූහයේ සමස්ත තැන්පතු ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 1.448 ක්වී ඇත. මේ අතර, සමූහය විසින් පෙර වසරට සාපේක්ෂව 18.51% ක තැන්පතු වර්ධනයක් ලබාගෙන තිබේ.

Visits: 86