කප්රුක සමාගමට නව අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් පත්වෙති

ජාත්‍යන්තරව මෙහෙයුම් කටයුතුවල නියැලෙන ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය විද්‍යුත් වාණිජ (e-commerce) සමාගම වන කප්රුක සමාගමට නව අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු පත්කර ඇතැයි නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරියක මෙන්ම එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර්වරියකද වන ප්‍රියන්ති පීරිස් මහත්මිය සහ, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී සංගමයේ සාමාජිකයෙකු මෙන්ම එහි පාලක කමිටුවේ සභිකයෙකුද වන ටිශාන් සුබසිංහ මහතා මේ ආකාරයට නව විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරුන් ලෙස පත්කර ඇත.

නව පත්කිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින්, කප්රුක සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දුලිත් හේරත් මහතා මෙසේ පැවසී ය. “සුදුසුකම් ලත්, අත්දැකීම් බහුල වෘත්තිකයන්ගෙන් සමන්විත, විවිධත්වයෙන් අනූන ආයතනික නායකත්ව කණ්ඩායමක් සිටීම මගින් ව්‍යාපාරයක ස්ථාවරත්වය, වර්ධනය සහ තිරසාරත්වය තහවුරු කිරීමට හැකියි. අපගේ හවුල්කරුවන්ට උපරිම වටිනාකමක් තිළිණ කිරීමට හැකිවන ආකාරයට නායකත්ව කණ්ඩායම ශක්තිමත් කිරීමට අප විසින් පියවර ගෙන තිබෙනවා. කප්රුක වෙනුවෙන් අපගේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සාදරයෙන් පිළිගැනීමට මෙය අවස්ථාවක් කරගැනීමට මා කැමතියි. මේ ගෞරවණීය වෘත්තිකයන් සමග එක්වී අප සමාගම වර්ධනයේ මීළඟ පියවරට ගෙනයන්නට මා බලා සිටින්නේ ඉතාමත් උනන්දුවෙන්.”

ආයතනික/ සුරැකුම්පත් නීති රාමුව පිළිබඳ වසර 40 කට අධික පළපුරුද්දක් සහිත ප්‍රියන්ති පීරිස් මහත්මිය, ආයතනික ප්‍රතිව්‍යුහගතකරණය, පෞද්ගලීකරණය, ප්‍රාග්ධන වෙළඳපොළ ගනුදෙනු, අත්පත්කර ගැනීම් සහ ඒකාබද්ධ වීම් යනාදී අංශ රාශියක් සම්බන්ධයෙන් හසළ අත්දැකීම් ලබා ඇත. JAT Holdings PLC, Associated Electrical Corporation Limited සහ MTN Corporate Consultants (Private) Limited යන සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කරන පීරිස් මහත්මිය, ප්‍රාග්ධන වෙළඳපොළ සම්බන්ධ සේවාවන් ලබාදෙන P W Corporate Secretarial (Private) Limited හි සභාපති/උපදේශක තනතුරු දරයි.

ඊට අමතරව එම මහත්මිය මුදල් අමාත්‍යංශයේ සහ කොළඹ කොටස් හුවමාරුවේ නීති උපදේශිකාවක ලෙසද, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අත්පත් කරගැනීම් හා ඒකාබද්ධවීම් විධිවිධාන සම්බන්ධ කමිටුවේ සාමාජිකාවක ලෙසද කටයුතු කර තිබේ. වරලත් ගණකාධිකාරී ආයතනයේ ආයතනික යහපාලන කමිටුවේ සාමාජිකාවක ලෙසද කටයුතු කර ඇති ප්‍රියන්ති පීරිස් මහත්මිය, ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාවේ සාමාජිකාවක ලෙසද කටයුතු කර ඇත.

ටිශාන් සුබසිංහ මහතා Moore Stephens Consulting (Private) Limited හි කළමනාකර අධ්‍යක්ෂ සහ Moore Stephens Aiyar හි සම කළමනාකරණ හවුල්කරු ලෙස කටයුතු කරයි. මොරටුව විශ්ව විද්‍යාලයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන ඒ මහතා, Sanasa General Insurance Company Limited හි සභාපතිවරයා වන අතර, Amana Bank PLC හි අධ්‍යක්ෂකවරයෙකුද වේ. මීට පෙර ඒ මහතා BDO Partners හි විගණන හා සහතිකකරණ ප්‍රධානී ලෙස කටයුතු කළේ ය.

කොළඹ විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය පිළිබඳ MBA උපාධියක් ලබා ඇති සුබසිංහ මහතා සහතිකලත් තොරතුරු පද්ධති විගණකවරයෙකි (CISA-USA). සුබසිංහ මහතාගේ දැනුම හා සේවාවන් විදේශයන් වෙතද ව්‍යාප්තව ඇති අතර, ඒ මහතා නිව් යෝර්ක්, ෆිලඩෙල්ෆියා සහ බොට්ස්වානා හි පිහිටි PwC සමාගම් සමග වෘත්තීය සම්බන්ධතා පවත්වාගෙන යයි.

එමෙන්ම ඒ මහතා ඇමරිකා එක්සත් ජනපදය, හොංකොං, බැංකොක්, ඉන්දියාවේ හයිද්‍රාබාද්, මුම්බායි, මැලේසියාව, ඉන්දුනීසියාව සහ රෝමය යන රටවලදී Sarbanes Oxley section 404 ඒකාබද්ධ විගණනය, විගණන මෘදුකාංග සහ ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් වැනි විෂයන් සම්බන්ධයෙන් මනා පුහුණුවක් ලබාගෙන ඇත. දේශීය හා විදේශීය විශ්ව විද්‍යාල කිහිපයක බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ඒ මහතා නීති හා රෙගුලාසි ලිහිල් කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකුද වන අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්ථාපිත කරන ලද, අසාර්ථක වූ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පුනර්ජීවනය කිරීමේ උපදේශන කමිටුවේ සාමාජිකයෙකුද වේ.

2002 වසරේදී ආරම්භ වූ කප්රුක, ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම, දේශීය හිමිකාරීත්වයක් සහිත විද්‍යුත්-වාණිජ සමාගමයි. එම සමාගම තම වෙබ් අඩවිය හරහා මෙරට සහ විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයන්ට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙයි. අතිශය විධිමත් සැපයුම් දාමයක් එම සමාගම සතු වන අතර, කප්රුක කේක් වර්ග, මල් වර්ග, සකස් කරන ලද පළතුරු හා එළවලු නිෂ්පාදන වැනි කප්රුක නිෂ්පාදනද ඒ හරහා අලෙවි කෙරේ. ප්‍රමුඛ පෙළේ සන්නාම 500 කට අධික සංඛ්‍යාවක් සමග එක්ව සිටින කප්රුක, ඇණවුම් සපුරාලීම සහ පාරිභෝගිකයන් වෙත සෘජුවම භාණ්ඩ බෙදාහැරීමද සිදුකරයි. සාමාන්‍ය වෙළඳපොළ අත්දැකීම් ඉක්මවා ගිය, වඩාත් විශිෂ්ට තලයේ මාර්ගගත සාප්පු සවාරි අත්දැකීමක් තම පාරිභෝගිකයන්ට තිළිණ කිරීම සමාගමේ අරමුණ වී තිබේ.

මිලියන 1.1 කට අධික විදේශගත ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද කප්රුක සේවාවන් නිරතුරුව භාවිතා කරති. මේ අතරින් ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ප්‍රධාන තැනක් ගන්නා අතර, ඔවුහු කප්රුක හරහා ශ්‍රී ලංකාවේ වෙසෙන තම පවුල් වල සාමාජිකයන් සහ හිතමිතුරන් වෙත ත්‍යාග ඇණවුම් කිරීම සිදුකරති.

එමෙන්ම Amazon, eBay, Etsy සහ Walmart වැනි ගෝලීය විද්‍යුත් වෙළඳපොළ වෙත ශ්‍රී ලාංකික සන්නාමයන් රැගෙන යාමටද කප්රුක කටයුතු කර ඇති අතර, Dilmah, Akbar, සහ Link Samahan ඇතුළු ප්‍රකට සන්නාම රාශියක් සඳහා විද්‍යුත් බෙදාහැරීම් නියෝජිත/ විද්‍යුත් වාණිජ අලෙවිකරු ලෙස කටයුතු කරයි. කප්රුක යනු, විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ අනෙකුත් ජාත්‍යන්තර පාරිභෝගිකයන් වෙත සේවාවන් සැලසීම ඔස්සේ රටට විදේශ විනිමය රැගෙන එන විද්‍යුත් වාණිජ සමාගම් අතළොස්ස අතරින් එකකි. කප්රුක මධ්‍යම කාර්යාලය කොළඹ නගරයේ පිහිටා ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් දක්වා එහි මෙහෙයුම් කාර්යාල පුළුල් කර ඇත.

Visits: 276