SME සමාගම් 81ක් සමගින් අලුත්ම ‘බීජිං කොටස් හුවමාරුව’ ගනුදෙනු අරඹයි

චීනයේ අලුත්ම කොටස් හුවමාරුව ලෙස බීජිං කොටස් හුවමාරුව (Beijing Stock Exchage (BCE) අද (නොවැම්බර් 15) පෙරවරුවේදී ගනුදෙනු ආරම්භ කෙරිණි. මෙය චීනයේ දැනට ක්‍රියාත්මක Shenzhen හි ChiNext සහ Shanghai හි STAR Market යන කොටස් වෙළෙඳ පොළවලින් පසුව පිහිටුවන තෙවැනි කොටස් හුවමාරුවද වෙයි.  

මූලිකවම චීනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SME) සඳහා කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගත වීමේ අවස්ථාවන් ලබා දීමේ අරමුණින් මෙම බීජිං කොටස් හුවමාරුව පිහිටුවීම සිදු විය. ඒ අනුව අද දිනයේදී ලැයිස්තුගත සමාගම් 81ක් සමගින් එම කොටස් හුවමාරුව සිය ගනුදෙනු අරඹා තිබේ.

චීන මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම ලැයිස්තුගත සමාගම් 81 අතරින් සමාගම් 10ක් අලුතින්ම ලැයිස්තුගත කළ සමාගම් වන අතර සමාගම් 71ක් චීනයේ ‘තෙවැනි පුවරුව‘ ලෙසින් හැඳින්වෙන චීනයේ ජාතික කොටස් හුවමාරු සහ මිලගණන් කැදවීමේ ආයතනය (China’s National Equities Exchange and Quotations) හි ඇතුළත්ව තිබී හුවමාරු කළ සමාගම් වෙයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී පැවැති 2021 China International Fair for Trade in Services සමුළුවේදී චීන ජනපති ෂිං ජින්පින්ග් විසින් පළමුවරට මෙම බීජිං කොටස් හුවමාරුව පිළිබඳව මුල්වරට අනාවරණය කරන ලදි. මෙහිදී නව කොටස් හුවමාරුව මගින් දැනට Shenzhen හි ChiNext සහ Shanghai හි STAR Market යන කොටස් වෙළෙඳ පොළ මගින් අනුගමනය කරන ගනුදෙනු යාන්ත්‍රණයම යොදා ගැනීමට සැලසුම වී තිබේ.

මේ අතර අද දිනයේදී ගනුදෙනු ආරම්භයේදීම බීජිං කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් 10කම ගනුදෙනු දෙවතාවක්ම තාවකාලිකව අත්හිටුවීමටද සිදුව තිබේ. එම සමාගම්වල වටිනාකම් 60%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ යාම ඊට හේතු වී තිබේ. එහෙත් පසුව ගනුදෙනු ආරම්භයෙන් පසුව එක් අවස්ථාවකදී කොටස් වටිනාකම් 500%කින් ඉහළ යාමක්ද වාර්තා වී ඇත.

මෙම කොටස් හුවමාරුවෙහි නියාමන රෙගුලාසිවලට අනුව ගනුදෙනු සිදුකරන පළමු දිනයේදී එහි වටිනාකම් ඉහළ යාම් සම්බන්ධයෙන් සීමාවක් පැනවී නොමැති අතර, පසු දිනවලදී කොටසක වටිනාකම් 30%කින් සහ 60%කින් ඉහළ යන අවස්ථාවලදී එම කොටස් පිළිබඳ ගනුදෙනු විනාඩි 10කට අත්හිටුවීමක්ද සිදුවන බව පැවසෙයි.

මෙම නව කොටස් හුවමාරුව පිළිබඳව සඳහන් කර ඇති චීනයේ සුරැකුම්පත් නියාමන කොමිසමේ සභාපතිවරයා, මෙය චීනයේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ ප්‍රතිසංස්කරණ සහ සංවර්ධනයේ සුවිශේෂී අවස්ථාවක් බව පවසා තිබේ.

Visits: 205