කාබනික ආහාර අපනයන වෙළඳපොල වෙත ප්‍රවේශය සහතික කිරීමට EDB සහාය

කුඩා ගොවි කණ්ඩායම් සවිබල ගැන්වීමේ අරමුණින් සහ විදේශීය වෙළඳපොළට සෘජු හා වක්‍ර ප්‍රවේශයන් ලබා ගැනීම සඳහා සහයෝගය දැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ලියාපදිංචි ගොවි කණ්ඩායම් සඳහා ජාත්‍යන්තරව පිළිගත් කාබනික සහතිකය ලබා ගැනීම උදෙසා ආධාර යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලද බව පවසයි.

මෙම ව්‍යාපෘතිය මගින් තෝරාගත් ගොවි කණ්ඩායම් පහක් නියෝජනය කරමින් ගොවීන් 254 දෙනෙකුට ඉඩම් හෙක්ටයාර 130ක් කාබනික යැයි සහතික කිරීම සඳහා පහසුකම් සලසා ඇත.මෙම ගොවි කණ්ඩායම්වලට උපරිම කාබනික ප්‍රමිති දෙකක් (EU/ USDA/ NOP/ JAS යනාදිය) සඳහා කාබනික සහතික ලබා ගැනීමට සහ අඛණ්ඩව වසර දෙකක කාලයක් එය අලුත් කිරීම මගින් ස්ථාවර ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සහයෝගය ලබා දී තිබේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සහතික කිරීමේ ක්‍රියාවලියේ අනිවාර්ය ක්‍රියාකාරකම් වන අභ්‍යන්තර පාලන පද්ධතියක් (ICS) පිහිටුවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක‘කන්ට්‍රෝල් යුනියන් ඉන්ස්පෙක්ෂන් පුද්ගලික සමාගම’සහ ‘මායාසර්ට් පුද්ගලික සමාගම’ වැනි ප්‍රතීතනය ලත් කාබනික සහතික කිරීමේ ආයතන සමඟ ගොවි කණ්ඩායම් සම්බන්ධ වී කටයුතු කර ඇත.

මෙම යෝජනා ක්‍රමය සාර්ථක කරගැනීමට ජර්මානු සංවර්ධන නියෝජිතායතනයවන,GIZ ආයතනය අපනයන සංවර්ධන මණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය මූල්‍යාධාර ලබා දිම සිදු වෙයි.

කුළු බඩු,පොල් ආශ්‍රිත නිෂ්පාදන,සැකසූ/ අමු පලතුරු සහ එළවළු, කෝපි, සාම්ප්‍රදායික සහල්, කිතුල්, ආදිය නිෂ්පාදනය කරන ගොවි කණ්ඩායම්වලට කාබනික සහතික පත්‍ර ලබා ගැනීමට ආධාර කිරීම තුළින් ගෝලීය ප්‍රවනතාවයන්ට අනුකූලව කාබනික නිෂ්පාදන සඳහා ඉහළ වටිනාකමක් ලබා ගැනීම කෙරෙහිශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයටමෙයින් පහසුකම් සැලසේ.

යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය, මැදපෙරදිග, ජපානය, චීනය වැනි රටවල ඇති ඉල්ලුම හේතුවෙන් කාබනික නිෂ්පාදන සඳහා වූ ඉල්ලුම අඛණ්ඩව ඉහළ යමින් පවතී. මෙමCOVID-19 වසංගතය තුළදී පවා කාබනික ආහාර නිෂ්පාදනයට විශාල ඇණවුම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ. එම නිසා වැඩි විදේශ විනිමයක් මෙරටට ගෙන්වා ගැනීමට, නියමිත වේලාවට විදේශ ඇණවුම් ලබා දීමට කාබනික නිෂ්පාදන සැපයුම් පදනම වැඩි කිරීම අවශ්‍ය වේ.

කාබනික නිෂ්පාදනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව විශ්වාසදායක නිෂ්පාදකයෙකු හා සැපයුම්කරුවෙකු ලෙස කීර්තියක් පවත්වා ගෙන යන අතර ජාත්‍යන්තරව අවශ්‍ය කාබනික ප්‍රමිතීන්ට අනුකූලව කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන පරාසයක් අපනයනය කරයි.

මේ සඳහා අපගේ කාබනික නිෂ්පාදන කූඩයේ තේ, කුළුබඩු, පොල් ආශ්‍රිත නිෂ්පාදන, සැකසූ පලතුරු, කෝපි, සාම්ප්‍රදායික සහල්, කිතුල් නිෂ්පාදන ආදිය ඇතුළත් වේ. යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව මෙම නිෂ්පාදන සඳහා ප්‍රධාන වෙළඳපොල ලෙස හඳුනාගෙන තිබේ.

Visits: 117