Prospere Realty (පෞද්) සමාගම LOLC Holdings PLC හා ඒකාබද්ධ කිරීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත LOLC Holdings PLC සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධිත සමාගමක් වන Prospere Realty (පෞද්) සමාගම LOLC Holdings PLC වෙත සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කරගැනීම සඳහා එම සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි පවසයි.

2007 අංක 07 දරණ සමාගම් පනතේ වගන්ති 242 (1) යටතේ මෙම ඒකාබද්ධ වීමේ කටයුතු සිදුවනු ඇති බවත්, බොහෝ දුරට 2021 දෙසැම්බර් 31 වැනිදා හෝ සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා තීරණය කරන දිනයකදී මෙම ඒකාබද්ධවීම බලාත්මක වන බවත් LOLC Holdings PLC සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙම ඒකාබද්ධවිම යටතේ LOLC Holdings PLC සමාගම මගින් Prospere Realty (පෞද්) සමාගම සතුව ඇති සියලුම වත්කම් සහ වගකීම් සියල්ලම තමන් යටතට පත් කරගන්නා බවත් පවසයි. එසේම මෙම ඒකාබද්ධවීමෙන් අනතුරුව ඉදිරියටත් ක්‍රියාත්මක වන සමාගම LOLC Holdings PLC ලෙස හැඳින්වෙනු ඇති බවත් වැඩිදුරටත් අනාවරණය කෙරී ඇත.

මීට අමතරව දැනට LOLC Holdings PLC සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙම ඒකාබද්ධවීමෙන් බිහිවන සමාගමේද අධ්‍යක්ෂවරුන් ලෙස ඉදිරියටත් කටයුතු කරනු ඇතැයි LOLC Holdings PLC සමාගම පවසා සිටියි.

2021 මාර්තු 31 වැනිදා නිකුත් කෙරුණු LOLC Holdings PLC හි 2020/21 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාවට අනුව, LOLC සමූහයේ සමාගම් අතරින් 42 වැනි සමාගම ලෙස සටහන්ව පවතින Prospere Realty (පෞද්) සමාගමේ කොටස් 30,400,001ක් එනම් 100%ක කොටස් හිමිකමක් LOLC සමුහය වෙත හිමිව තිබේ. එහි වටිනාකම රුපියල් 304,000,000ක් ලෙස ගණන් බලා තිබේ. එසේම එම සමාගම සමූහයේ ලැයිස්තුගත නොවූ සමාගම් ලැයිස්තුවට ඇතුළත්ව ඇත.

පී.ඩී.ජී. ජයසේන සහ ජේ.බී.ඩබ්ලිව් කැලේගම යන මහත්වරුන් වර්තමානයේදී එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කරයි. ඒ අනුව මෙම ඒකාබද්ධවීමෙන් අනතුරුව LOLC Holdings PLC හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ඉෂාර නානායක්කාර, ඩබ්ලිව්.ඩී.කේ. ජයවර්ධන, කේ.යූ. අමරසිංහ, සී.පී.එන්. ඩයස්, එම්.ඩී.ඩී. පීරිස්, ආචාර්ය ආර්.ඒ. ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා පත් වීමට නියමිතව ඇත.

Visits: 865