“2025 වන විට මඩකලපුවේ වැව් 400 සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරනවා” – රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන්

මඩකලපුව ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු තවදුරටත් ඉහළ නැංවීමට 2025 වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ වැව් 400ක් සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන බව පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා පවසයි.

පසුගියදා මඩකලපුව මන්මුනේ නිරිතදිග පට්ටිපලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කඩුක්කමුනෙයි ප්‍රදේශයේ ඉපැරණි කෙත්වල කඩුක්කමුනේ ගොවිජන සංවිධානය විසින් සංවිධානය කරන ලද අතුරු අස්වනු නෙලීමේ උත්සවය රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අවස්ථාවේදී ඒ මහතා මේ බව පවසා තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා, ජනාධිපතිවරයාගේ වැව් පොහොසත් කිරීමේ වැඩසටහන යටතේ ඉදිරි වසර තුළ නැගෙනහිර පළාතේ පමණක් වැව් 150ක් පමණ ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන ඇති බව පවසා තිබේ.

“ඒ වගේම මඩකලපුව ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු තවදුරටත් ඉහළ නැංවීමට 2025 වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ වැව් 400ක් සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරනවා” අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනේ නිරිතදිග පට්ටිපලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කඩුක්කමුනෙයි වාරි ව්‍යාපෘතිය යටතේ  මෙම වී වගාව සිදුකෙරී ඇත. වාරිමාර්ග පොහොසත් කිරීමේ වැඩසටහන යටතේ  වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇල වේලි ඉදිකිරීම පුළුල් ලෙස සංවර්ධනය වෙමින් පවතින බවත් අමාත්‍යාංශය පවසයි.

කඩුක්කාමුණේ විල්ලු වැව ප්‍රතිසංස්කරණය කරන අතරතුර මෙවර කඩින් කඩ කුඹුරු වගාව කඩුක්කාමුණේ වාරිමාර්ග ආධාරයෙන් සිදු කර එහි අස්වනු නෙලීමේ අවස්ථාව සිදුවූ බවද ආමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

විශේෂයෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයට ආසන්න අම්පාර, පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික කටයුතු මහා පරිමාණයෙන් සිදු කෙරෙන බවත් තමාගේ ඉල්ලීම පරිදි එම තත්ත්වය වැඩිදියුණු කිරීමට වැඩසටහන් දියත් කර ඇති බවත් වියාලේන්ද්‍රන්  අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එසේම මඩකලපුව දිස්ත්‍රික්කය; කඩුක්කාමුනේ ප්‍රදේශයේ මහා පරිමාණ හා කුඩා වගාවන් හැර අක්කර 350ක අතරමැදි වගා කටයුතු සිදු කර අද හොඳ අස්වැන්නක් ලබා දී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා  පවසා තිබේ. 

මෙම අවස්ථාව සඳහා මඩකලපුව දිස්ත්‍රික් අතිරේක දිසාපතිනි සුදර්ශිනි සිරිකාන්ත් මහත්මිය, මන්මුනේ නිරිතදිග පට්ටිපලෙයි ප්‍රාදේශීය ලේකම්  දත්සනගෞරි දිනේෂ් මහත්මිය, මන්මුනේ නිරිතදිග පට්ටිපලෙයි ප්‍රාදේශීය සභාවේ සභාපති එන්.පුස්පලිංගම් මහතා ඇතුළු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද විශේෂ ආරාධිතයින් ලෙස එක්ව සිට ඇත.

Visits: 63