දම්රෝ සමූහය අගලවත්ත ප්ලාන්ටේෂන් සතු සිය කොටස් හිමිකාරීත්වය අඩු කිරීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි වැඩි කොටස් හිමිකාරීත්වයක් සහිත දම්රෝ සමූහය එම කොටස් හිමිකම අඩු කිරිම සඳහා අදහස් කරගෙන සිටින බව වාර්තා වෙයි.

ලැයිස්තුගත රීතීන් අනුව එම සමාගමක් මගින් පවත්වාගෙන යා යුතු අවම මහජන කොටස් හිමිකාරීත්වය පිළිබඳ අවශ්‍යතාවන් පූර්ණය කිරීම වෙනුවෙන් මෙලෙස එම සමාගම සිය කොටස් හිමිකම අඩු කිරීමට අදහස් කරගෙන සිටින බව පැවසෙයි.

අගලවත්ත ප්ලාන්ටේෂන් සමාගමත් පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත නිවේදනයක් නිකුත් කරමින් මෙම අවම මහජන කොටස් හිමිකාරීත්වය පිළිබඳ රීතියට අනුකූල වීම සඳහා මෙලෙස එය අයත් සමාගම විසින් එහි හිමිකාරීත්වය අඩු කිරීමට තීරණය කර තිබෙන බවත් පවසා තිබේ.

2021 සැප්තැම්බර් 30 වැනිදා වනවිට අගලවත්ත ප්ලාන්ටේෂන්ස් සමාගමේ කොටස් අතරින් 6.80%ක ප්‍රතිහතයක් පමණක් ගනුදෙනු සඳහා ඉදිරිපත් කර ඇති අතර, එය කොටස් හිමිකරුවන් 11,543 දෙනෙකු අතර බෙදී ගොස් තිබේ. එහිදී නිකුත් කර තිබූ කොටස් සංඛ්‍යාව 10,622‍්,937ක් විය. එසේම එම දිනය වනවිට සමාගමේ ප්‍රාග්ධනය 292,130,768 කි.

2021 සැප්තැම්බර් 30 වැනිදා වනවිට අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටස් අතරින් 93.20%ක ප්‍රතිශතයක් දම්රෝ සමූහයට අයත් D.R. Investments (පෞද්) සමාගම නම් ආයෝජන සමාගම වෙත හිමිව තිබුණි. එසේම තවත් කොටස් 2.28%ක සහ 1.66%ක ප්‍රතිශතයක් පිළිවෙලින් සෝනියා වින්-යෙන් වෙත සහ සහ ආචාර්ය ටී. සෙන්තිල්වර්ල් හට හිමිව තිබේ.

ඒ අනුව අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම වෙත අදාළ ලැයිස්තුගත රීතින් වෙත අනුකූලවිම සඳහා මේවසරේ ජුලි මාසය දක්වා කල් ලබා දීමක් සිදු කර තිබූ බවත් පසුගිය මැයි මාසයේදී නිකුත් වුණු එම සමාගමේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාවේ සඳහන් කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වා ඇති අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම D.R. Investments (පෞද්) සමාගම සතුව ඇති එම කොටස් අලෙවි කිරීමක් හරහා අදාළ රීතිය වෙත අනුකූලතාව දක්වන බව පවසා තිබේ.

Visits: 864