Agstar PLC වෙතින් හිමිකම් කොටස් නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Agstar PLC සමාගම සිය ඡන්ද හිමි (AGST.N0000) සහ නිෂ්ඡන්ද (AGST.X0000) කොටස් හිමිකරුවන් සඳහා හිමිකම් කොටස් නිකුතුවක් සිදු කිරීම සඳහා කටයුතු යොදා ඇතැයි පවසයි.

සමාගම සතුව ගෙවීමට ඇති කාරක ප්‍රාග්ධන ණය පියවා දැමීමට සහ අලුතින් කාරක ප්‍රාග්ධනයක් සමාගම වෙත ලබා ගැනීම වෙනුවෙන් මෙම හිමිකම් නිකුතුව සිදුකරන බව Agstar PLC සඳහන් කරයි.

කෘෂිකාර්මික පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය, මිශ්‍රකිරිම සහ අලෙවි කිරීම සහ බීජ සහ කෘෂි කාර්මික යන්ත්‍ර ගෙන්වා බෙදාහැරිමද මෙම සමාගමමගින් සිදු කෙරේ.

ඒ අනුව මෙහිදී දැනට පවතින සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 2ක් සඳහා අලුතින් කොටසක් හිමිවන ආකාරයට මෙම නිකුතුව සිදුවන බව සමාගම පවසා සිටියි. එහිදී නිකුත් කෙරෙන සමස්ත සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 153,763,155කි.

එසේම දැනට නිකුත් කර ඇති නිෂ්ඡන්ද කොටස්  2ක් සඳහාද අලුතින් නිෂ්ඡන්ද කොටසක් නිකුත් කිරීමත් මෙහිදී සිදුවන බව Agstar PLCපවසයි. එහිදී නිකුත් කෙරෙන සමස්ත නිෂ්ඡන්ද කොටස් සංඛ්‍යාව 8,736,845කි.

මෙම හිමිකම් කොටස් නිකුතුවේදී සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් රුපියල් 5.00 කටද, නිෂ්ඡන්ද කොටසක් රුපියල් 4.00කටද මිල කෙරී තිබේ.

Agstar PLC සමාගම සඳහන් කරන ආකාරයට අද වනවිට සමාගමෙහි සමස්ත ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 1.2 කි (1,204,093,678.00කි)

අවසන් වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වුණු පසුගිය බදාදා දිනයේදී Agstar PLC සාමාන්‍ය ඡන්ද හිමි කොටසක වටිනාකම රුපියල් 9.90ක් ලෙස පැවතුණි. එය පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 10.00ට සාපේක්ෂව ශත 10කින් එනම් -1.00%කින් පහත වැටීමකි. එසේම Agstar PLC නිෂ්ඡන්ද කොටසක වටිනාකම රුපියල් 5.00ක අගයේ පැවතුණි.

2021 මාර්තු 31 වැනිදා වනවිට Agstar PLC සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 97,514,400ක් එනම් 31.71%ක් හිමිව ඇත්තේ සියෙරා හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමටයි. එසේම කොටස් 60,213,500ක් එනම් 19.58%ක් ලංකා ඔරික්ස් ලීසිං කම්පැනි පීඑල්සී සමාගමටත් කොටස් 40,520,061ක් එනම් 13.18%ක් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමටත් හිමිව ඇත. මීට අමතරව සියෙරා කන්ස්ට්‍රක්ෂන්ස් (පෞද්) සමාගම වෙත තවත් කොටස් 37,025,290ක් එනම් 12.04%ක් හිමිව තිබේ.

Visits: 325