රෝයල් සෙරමික්ස් ලංකා වෙතින් රුපියල් 1.50ක පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී (RCL.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින්  නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද රෝයල් සෙරමික්ස් ලංකා මෙය හඳුන්වා දී සිටියි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස දෙසැම්බර් 03 වැනිදා ප්‍රකාශයට පත් කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 12 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 57.10ක්  ලෙස සටහන් විය. එය පෙර දිනයේදී පැවැති රුපියල් 58.40ට සාපේක්ෂව රුපියල් 1.30ක එනම් (2.23%ක) පහත වැටීමකි.

රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගම අවසන් වරට සිය ලාභාශ ගෙවීමක් සිදු කර තිබුණේ මේ වසරේ ජූනි මාසයේදීය. 2021 මුල්‍ය වර්ෂය සඳහා ලබා දුන් අවසන් ලාභාංශ ගෙවීම වූ එහිදීද කොටසකට රුපියල් 1.20ක් බැගින් ලබා දීම සිදු විය.

Visits: 228