“Kapruka ත් ලැයිස්තුගත වෙනවානම් කාටත් හොඳයි” – නිමල් පෙරේරා

මෙරට තුළ ක්‍රියාත්මක අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීමේ නිරත ප්‍රමුඛ පෙළේ ඉ වානිජ්‍ය (E-Commerce) සමාගමක් වන කප්රුක (Kapruka) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වන්නේ නම් එය ඉතාමත් හොඳ දෙයක් බව මෙරට ප්‍රමුඛ පෙලේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි.

විශේෂයෙන්ම එය අලුතින් ආරම්භ කරන  ‘ස්ටාර්ට්අප්‘ ව්‍යාපාර සහ ඉ-වාණිජ්‍ය ව්‍යාපාර සඳහා යහපතක් බවද ඔහුගේ අදහස වී තිබේ. සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත.

“ඉ-වාණිජ්‍ය අංශයේ ප්‍රමුඛයෙකු වන කප්රුක ලැයිස්තුගතවීම ස්ටාර්ට්අප් ව්‍යාපාර, ඉ-වාණිජ ව්‍යාපාර වෙත ඉතාමත් හොඳ දෙයක්. ඒ වගේම එය කොළඹ කොටස් හුවමාරුවටත් හොඳ දෙයක් වේවි. එහි වටිනාකම දස ගුණයකින් වැඩි වන බව කියන්න පුළුවන්.” ඔහු සඳහන් කර තිබේ.

එසේම ඩිජිටල් සමාගම් මෙලෙස ලැයිස්තුගත වීම හරහා අවස්ථාව ලබා දීමත් සමගින්ම අනුකම්පාවිරහිත, ආත්මාර්ථකාමී පොහොසතුන් සහ සමාගම් පසුපස යාමට අවස්ථාවක් උදා නොවනු ඇතැයිද ඔහු මෙහිදී පවසා තිබේ.

නිමල් පෙරේරා මහතාගේඅදහස පිළිබඳව ප්‍රතිචාර දක්වා ඇති කප්රුක සමාගමේ නිර්මාතෘ දුලිත් හේරත් මහතා, ඔහුගේ එම අදහස් දැක්වීම තමන්ට ඉතාමත් වටිනා බවද පවසා තිබේ.

මීට පෙර මෙරට ඩිජිටල් සේවා සපයන සමාගම් කිහිපයක්ම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම් පිළිබඳව අවධානය යොමු කර තිබුණි. 99X Technologies සහ Pickme එම සමාගම් වෙයි.

Visits: 516