Apple පරදා Microsoft ලොව වටිනාම සමාගම බවට පත්වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇපල් සමාගමෙහි කොටස් වටිනාකම් 2%කින් පසුබැසීමත් සමගින්ම ඊයේ (29දා) දිනයේදී ලොව වඩාත් වටිනාම සමාගම බවට පත්වීමට මයික්‍රොසොෆ්ට් සමාගමට හැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන්ම ගෝලීය සැපයුම් දාම තුළ පවතින ගැටලු හේතුවෙන් ඇපල් සමාගමේ නිෂ්පාදන වෙත ඇතිව තිබෙන අලෙවි ගැටලුව මෙලෙස එම සමාගමේ කොටස් වටිනාකම පහත වැටීමට හේතුව වී තිබේ. මේ හේතුවෙන් එම සමාගමේ මෙම මූල්‍ය වර්ෂයේ සිව්වැනි කාර්තුව වනවිට අලෙවි ආදායම් වෙත ඩොලර් බිලියන 6ක අලාභයක්ද සිදුව ඇතැයි සඳහන් වෙයි.

සිකුරාදා දිනයේදී එක්සත් ජනපද කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ඇපල් සමාගමෙහි කොටසක වටිනාකම 1.8%කින් පසුබසිමින් එක්සත් ජනපද ඩොලර් 149.80ක් විය. ඒ අනුව සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් ට්‍රිලියන 2.48ක් විය.

කෙසේ වෙතත් දිනය තුළදී මයික්‍රොසොෆ්ට් සමාගමේ කොටස් අගයන් 2.2%කින් ඉහළ ගිය අතර, කොටසක වටිවාකම වාර්තා ගත ලෙස ඉහළ යමින් ඩොලර් 331.62ක් බවට පත්විය. ඒ අනුව දිනය නිමාවේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් ට්‍රිලියන 2.49 ඉක්මවා යාමට සමත්ව තිබේ.

මෙතෙක් කලක් ලොව වටිනාම සමාගම ලෙස පැවැති මයික්‍රොසොෆ්ට් සමාගම දෙවැනි තැනට ඇද දමමින් ඇපල් සමාගම එම ස්ථානයට පත් වූයේ 2010 වසරේදීය. ඇපල් අයිෆෝනය ලොවට හඳුන්වාදීමත් සමගින්ම එම තත්ත්වය ඇති විය. ගෙවුණු කාලයේදී එම සමාගම් දෙකම ලොව වඩාත් වටිනාම සමාගම් බවට පත්විය. 2020 මැදභාගයේ සිට ඇපල් සමාගම එම තත්ත්වය රඳවා තබා ගැනීමට සමත් වී තිබුණි.

වසරේ මේ දක්වා කාලය තුළදී මයික්‍රොසොෆ්ට් සමාගමේ කොටස් වටිනාකම් 49%කින් ඉහළ නැග තිබේ. එහිදී වසංගතයත් සමගින්ම ක්ලවුඩ් පාදක සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යාම ඊට හේතු වී තිබේ. කෙසේ වෙතත් මෙම කාලසීමාව තුළදී ඇපල් සමාගමේ කොටස් වටිනාකම් ඉහළ ගොස් ඇත්තේ 13%කින් පමණකි.

Visits: 161