මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන ලෙස මහ බැංකුවෙන් යළි දැනුම්දීමක්

විවිධ සංවිධානාත්මක පාර්ශ්ව විසින් දැන්වීම්, කෙටි පණිවුඩ ඇතුළු මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් තමන් වෙත තොරතුරු ලැබෙමින් පවතින බව මහ බැංකුව පවසයි.

විශේෂයෙන්ම සිය ගිණුම්වලට, විශාල පරිමාණයෙන් විදේශ විනිමය සහ/හෝ දේශීය මුදල් බැර කර ඇති බවත්,  එම ගිණුම් තාවකාලිකව අත්හිටුවා ඇති නිසා එම මුදල් නිදහස් කරගැනීමට යම් සහායක් ඉල්ලා සිටිමින් ඔවුන් මෙම මූල්‍ය වංචාව සිදුකරන බව මහ බැංකුව සඳහන් කරයි.

මෙවැනි අවස්ථාවලදී එම වංචාකරුවන් අදාළ ගනුදෙනුව සඳහා බැංකු ගනුදෙනුකරුවන්ගෙන් සිය PIN අංක, කාඩ්පත්වල පිටුපස ඇති CVV ලෙස හැඳින්වෙන ගෙවීම් කාඩ්පත් සත්‍යාපන අංකය, එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපදය (OTP) වැනි හර කාඩ්පත්/ණය කාඩ්පත්වලට අදාළ තොරතුරු මෙන්ම ජංගම/අන්තර්ජාල බැංකුකරණයේදී යොදා ගන්නා User ID සහ Password හා එක්වරක් පමණක් භාවිත වන Password යනාදිය ඉල්ලා සිටින බව හඳුනාගෙන තිබේ.

එවැනි තොරතුරු සැපයීමම ගනුදෙනුකරුවන් නිසැකයෙන්ම බරපතල මූල්‍ය වංචාවකට ලක්වීමේ අවස්ථාවක් වන බවද මහ බැංකුව පවසයි.

ඒ අනුව මෙවැනි වංචා පිළිබඳව සුපරික්ෂාකාරී වන ලෙසත්, ඉහත සඳහන් කළ බැංකු ඇතුළු මුදල් ගණුදෙනුවලදී තමන්ගේ රහස්‍ය තොරතුරු අනෙකුත් කිසිදු පාර්ශ්වයක් සමඟ හෝ හුවමාරු කර නොගත යුතු බවද ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දී සිටියි.

මේ අතර, මහජනතාවට සිය ගිණුම් භාවිත කරමින් සිදුවන ඕනෑම වංචකින ක්‍රියාවක් පිළිබඳව ක්ෂණිකව දැනුම්වති වීම සඳහා තම බැංකුවලින් කෙටි පණිවුඩ වැනි එසැනින් ගණුදෙනු සම්බන්ධ තොරතුරු දැනුම්දීමේ සේවාවන් සක්‍රීය කරගන්නා ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Visits: 127