ශ්‍රී ලංකාව තුළ MG, Chery සහ Proton මෝටර් රථ නිපදවීමේ ආයෝජනයක් පිළිබඳව සොයා බලයි

ශ්‍රී ලංකාව තුල වාහන නිපදවිය හැකි කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින්, China National Machinery Import and Export Corpහි උප සභාපති වූ යී මහතා පසුගියදා, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මුණ ගැසුණු බව බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මෙරට තුල MG, Chery සහ Proton යන සන්නාමයන් නිපදවා, ප්‍රවර්ධනය කිරීම ඔවුන්ගේ සැලසුම වී තිබේ.

China National Vehicles Import & Export Co. Ltd., (CVC) යනු China National Machinery Import and Export Corp (CMC) වෙත පූර්ණ අයිතිය සතු උප සමාගමක් වන අතර, එය රථවාහන, කොටස් හා අංගෝපාංග හා වෙනත් ඒ හා සමාන නිෂ්පාදිත බෙදාහැරීම පිළිබඳ විශේෂඥතාවකින් යුතු සමාගම්ක බව තානාපති කාර්යාලය සඳහන් කරයි.

CVC සමාගම මගින් දැනටමත් ශ්‍රී ලංකාවේ මයික්‍රෝ මෝටර් රථ ව්‍යාපාරය සමඟ ඵලදායී සබඳතාවක් ස්ථාපිත කර ගැනීමට සමත්ව තිබේ. මයික්‍රෝ මෝටර් රථ ව්‍යාපාරය සමඟ විස්තීර්ණ ඒකාබද්ධ ව්‍යාපාරයක් ඇරඹීම පිළිබඳ CVC සමාගම සාකච්ඡා කරමින් සිටි බව වූ යී මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා රජය රථවාහන අංශයේ ආයෝජන පිළිගන්නා බව පැවසූ තානාපති ආචාර්ය කොහොන මහතා විස්තරාත්මක යොජනාවක් ඉදිරිපත් කිරීම සඳහා CVC ආයතනය දිරිමත් කළ බව පවසයි.

විශේෂයෙන්ම රථවාහන සඳහා පවත්නා දේශීය වෙළඳපොල සහ ශ්‍රී ලංකාව ලෝකයේ සෞභාග්‍යමත් කලාපයක පිහිටා තිබීම හේතුවෙන් ඒ සතු පුළුල් වෙළඳපොල පිළිබඳවද තානාපතිවරයා විස්තර කර තිබේ. එසේම තානාපති කාර්යාලයේ පූර්ණ සහායද මේ සඳහා හිමි වන බව වැඩිදුරටත් සහතික කර ඇත.

උප සභාපති වූ මහතා සමඟ පැමිණි පිරිස අතර CMCහි සාමාන්‍යාධිකාරි යින් චින්ග් මහතා, CVCහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගූ චාඕගැන්ග් මහතා, එම ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ෂූ ෂියාඕමෙයි මහත්මිය හා එම ආයතනයේම වාණිජ සාමාන්‍යාධිකාරි යැන් වෙන්ෂුඕ මහතාද වූ බව තානාපති කාර්යාලය පවසයි.

Visits: 732