SLIIT Business School සිය පළමු පර්යේෂණ සඟරාව ලෙස ‘SLIIT Business Review’ එළිදක්වයි

ලෝකයේ ආයතනික මට්ටමේ වෘත්තීමය විශිෂ්ඨතාවයන් සඳහා වන ගමන් මග සකස් කිරීම වෙනුවෙන් ඇගයීමකට පාත්‍රව සිටින SLIIT Business Schoolසිය පළමු පර්යේෂණ සඟරාව වන ‘SLIIT Business Review’ හි (SLIIT ව්‍යාපාරික සමාලෝචනය) ආරම්භක කලාපය මාර්ගගත තාක්ෂණය ඔස්සේ පසුගියදා විශිෂ්ඨ අන්දමින් පාඨකයන් වෙත ඉදිරිපත් කර තිබේ.

‘SLIIT Business Review’සඟරාව යනු නව දැනුම, නවෝත්පාදනයන්, තාක්‍ෂණ භාවිතය, ව්‍යාපාර සහ කළමනාකරණයේ නවතම පර්යේෂණ මෙවලම් යෙදීම ආදිය ඉස්මතු කර දැක්වීම සඳහා පීඨ, පර්යේෂණ විද්වතුන්, ව්‍යාපාර කළමනාකරණ වෘත්තිකයින් සහ ඊට අදාළ විෂයයන් සඳහා වේදිකාවක් වශයෙන් කටයුතු කිරීමේ අරමුණ ඇතිව වසර දෙකකට වරක් ප්‍රකාශයට පත් කෙරෙන සඟරාවකි.

SLIIT Business Review, ව්‍යාපාර කළමනාකරණ න්‍යායන් සහ භාවිතයන් අතර පවතින හිඩැස අවම කිරීමට ද අපේක්ෂා කරයි.

2021 ජූනි මස මංගල කලාපයේ පළමු වෙළුමේ – 01 වෙනි මුද්‍රණයේ ලිපි මානව සම්පත්, මුල්‍ය, ආගන්තුක සත්කාර වැනි විෂය මාලාවක් ආවරණය කළේය.ඉදිරියේදී ව්‍යාපාරික පරිසරය තුළ ගැටලු න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව ආකෘතිගත කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ව්‍යාපාර කළමනාකරණය, ගිණුම්කරණය සහ මුල්‍ය, ව්‍යාපාර විශ්ලේෂණ, මානව ප්‍රාග්ධන කළමනාකරණය, අලෙවි කළමනාකරණය, ලොජිස්ටික් සහ සැපයුම් දාම කළමනාකරණය ඇතුළු මාතෘකා පිළිබඳව පවතින ගැටලු විමර්ශනය කරනු ඇත.

SLIIT හි කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක මහතා අතින් සඟරාවේ මංගල කලාපය එළිදැක්වීය. එහිදී අදහස් දක්වමින් SLIIT හි උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා “පර්යේෂණයකට දායකත්වය දැක්වීම ශාස්ත්‍රපතිවරයෙකුගේ අනිවාර්ය අංගයක්. විශ්ව විද්‍යාලයක් ලෙස අප ලෝක මට්ටමෙන් පිළිගැනීමට නම් ශ්‍රේණිගත කිරීම් ඉහළ යා යුතු අතර ඒ සඳහා අප විශ්වවිද්‍යාලය සතුව හොඳ ප්‍රකාශන තිබිය යුතුයි. ලොව පුරා උසස් විශ්ව විද්‍යාල සමඟ පවත්වාගෙන යනු ලබන හවුල්කාරීත්වයන්ට අමතරව පර්යේෂණ- පර්යේෂණ ප්‍රදාන යෝජනා ක්‍රම, කර්මාන්ත කිහිපයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව සහ ව්‍යාපාර සම්බන්ධතාවලට සහයෝගය දැක්වීම සඳහා අපි සහයෝගයන් ලබා දෙනවා. මෙම මුලපිරීමේ උත්සාහය මඟින් උපාධි අපේක්ෂකයින්ට හොඳ ජාත්‍යන්තර සඟරා ප්‍රකාශයට පත්කිරීමට සහ ඒ සඳහා අත්දැකීම් ලබා ගැනීමටඅවස්ථාව ලැබෙන හෙයින් මම මෙය අගය කරනවා.” යනුවෙන් පැවසීය.

ලෝකයපුරා විසිර සිටින පර්යේෂකයින්ට නොමිලේ දැනුම හා ශාස්ත්‍රීය කටයුතු හුවමාරු කර ගැනීමේ අරමුණ ඇතිව SLIIT Business Reviewවිවෘත ප්‍රවේශ ප්‍රතිපත්තියක්තුළ පවත්වාගෙන යනු ලබයි.

SLIIT Business Schoolහි පර්යේෂණ ගමන්මගෙහි තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් SLIIT Business Reviewඑළිදැක්වීමේ උත්සවයට සහභාගී වීමට ලැබීම පිළිබඳව තමන් ඉතාමත් ගෞරවයට පත් වන බව සහභාගී වූවන් අමතමින්, උපාධි අධ්‍යයන හා පර්යේෂණ පිඨයේ පීඨාධිපති, මහාචාර්ය රාහුල අත්තලගේ මහතා පැවසීය.

Visits: 74