ටයිල් සමාගම් සඳහා වන ආයෝජක උනන්දුව ඉහළට

අද (ඔක්තෝබර් 27) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තුළ ඉහළ පහළ යාමක් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.එහිදී මූලිකවම LOLC සහ EXPO සමාගමේ කොටස් අතරින් ලාභ ඉපැයීමට ආයෝජකයන් යොමුවීම ඊට හේතුව වී තිබේ. මේ අතර, ටයිල් අංශය ඇතුළු වටිනා කොටස් සඳහා වන ආයෝජක ආකර්ෂණයද තවදුරටත් ඉහළ මට්ටමකින් පැවතී ඇත. මීට අමතරව දිනයේ අගභාගයේදී හැටන් නැෂනල් බැංකු කොටස් අගයන්ද ඉහළ යාමක් සිදුව තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 10,072.16ත් ඒකක 10,184.67ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 10,146.90ක් බවට පත්විය. එය ඊයේ (ඔක්තෝබර් 26) දිනයට සාපේක්ෂව ඒකක 19.86ක් එනම් +0.20%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 3.4%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 106ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 86ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+18.61), හැටන් නැෂනල් බැංකුව HNB (+8.97), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (+6.71), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+3.7), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (+3.65), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-17.55), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-9.67), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-4.27), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-3.15), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-2.54) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,698.73ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 26) ‍ට සාපේක්ෂව ඒකක 38.99ක එනම් +1.07%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.1ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක්තෝබර් 26) වාර්තා කළ රුපියල් බිලියන 6.72 ට  සාපේක්ෂව 24% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.52ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 52.73%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 149.16ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 303.7ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 154.54කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 45.79ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 72.53 කි. එසේම ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 201.11ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,245ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 23%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,117ක සහ රුපියල් මිලියන 1,095ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 305