“ඉන්ධන සඳහා ඕමානයෙන් ණය ඉල්ලීම විසඳුමක් නොවේ, කළ යුත්තේ පරිභෝජනය අඩු කිරීමයි” – මුර්ටාසා ජැෆර්ජි

මෙරට බලශක්ති අවශ්‍යතාව වෙනුවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා ඕමානයෙන් ණය පහසුකමක් ඉල්ලීම විසඳුම නොවන බව මෙරට ප්‍රමුඛ පෙළේ සමාජම් රැසක ප්‍රධානියෙකු ලෙස කටයුතු කර ඇති, ආයෝජකයෙකු වන මුර්ටාසා ජැෆර්ජි මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ඔහු මේ බව පවසා තිබේ. ඒ මහතා මෙරට සුප්‍රසිද්ධ කොටස් තැරැව්කාර සමාගමක් වන ජේ.බී. සෙකියුරිටීස් (ජැෆර්ජි බ්‍රදර්ස් සෙකියුරිටීස්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාද වෙයි. එසේම අද වනවිට ඒ මහතා මෙරට මුල් පෙළේ බුද්ධි මණ්ඩපයක් වන ඇඩ්වොකාටා ආයතනයේ සභාපතිවරයාද වෙයි.

ඒ අනුව මෙලෙස ණය ලබා ගෙන පමණටත් වඩා පරිභෝජනයට කිරීමට යාමෙන් එම ණය දෙන රටවල් පොහොසත් වන බවත්, අපි තවදුරටත් දුප්පත් වන බවත් ඒ මහතා පවසයි.

“ඉන්ධන සඳහා ඕමානයෙන් ණය පහසුකමක් බලාපොරොත්තුවීම මෙයට විසඳුම නෙමෙයි. මොකද අපේ අධික පරිභෝජනය නිසා ඔවුන් පොහොසතුන් වෙද්දී අපි තවත් දුප්පතුන් වෙනවා. ඒ නිසා අපි සිදු කළ යුත්තේ මේ ඉහළ මිලට පවතින දෑ පරිභෝජනය අඩු කිරීමයි.” ඔහු පවසයි.

එහිදී අද වනවිට ඉන්ධන යනු මෙරටට ආනයනය කරන විශාලතම භාණ්ඩය වන බවත්, මේ දක්වා අධික පරිභෝජනයට යොමුවූවා මිස ඒ වෙනුවෙන් පිවිසිය හැකි විකල්ප වෙත යොමුවීමක් සිදු කර නැතැයිද ඔහු පවසයි.

“ඉන්ධන මිල ඉහළ දැමීම තුළින් පාරිභෝගිකයන් ඉන්ධන පරිභෝජනය අඩු කිරීමට බලපෑම් කරනවා. අපිට පුළුවන් අපගේ අනවශ්‍ය ගමන් බිමන් සීමා කරලා මේ ඉන්ධන පරිභෝජනය අඩුකරමින් මෙම ආනයනයන් අඩු කරන්න.” ජැෆර්ජි මහතා පවසයි.

මේ අතර තවත් ට්විටර් සටහනක් තුළ ඒ මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටරයක් හරහා ලබා ගන්නා පාඩුව සම්බන්ධයෙන්ද සඳහන් කර තිබේ.

ඒ අනුව මෙරට වෙත ඩීසල් ලීටරයක් ලැබෙන්නේ රුපියල් 124ක මුදලකට බවත්, එහිදී බදු ලෙස රුපියල් 15ක් අය කරගන්නා බවත්, එසේම පරිපාලන වියදම් ලෙස රුපියල් 9.5ද සමගින් එම ලීටරයක මිල රුපියල් 148.5ක් වන බවත් ඔහු පවසයි. එහෙත් අදටත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඩීසල් ලීටරයක් රුපියල් 111කට අලෙවි කරන බවත්, එහිදී රුපියකට සිදුවන පාඩුව රුපියල් 37.5ක් සහ මාසකට රටෙහි ආසන්නතම ඩීසල් පරිභෝජන වන ලීටර් මිලියන 158ත් සමග එය රුපියල් බිලියන 6ක් වන බවත් ඔහු පවසයි.

“ඉන්දියාවේ පැට්‍රල් ලීටරයක මිල ශ්‍රී ලංකා රුපියල්වලින් 285යි. එංගලන්තයේ එය ශ්‍රී ලංකා රුපියල් 400යි. අපේ රටේ තවමත් එය රුපියල් 157යි.” ඔහු තවත් ට්විටරයකින් පවසයි.

එසේම කිසිදු ශිෂ්ඨාචාරයක් සිය සම්පත් අපතේ යවමින්, ආනයනය කළ සම්පත්වලින් පොහොසතුන් බවට පත් නොවූ බවද ජැෆර්ජි මහතා සිය ට්විටර් ගිණුම වෙත තවත් අදහස් දැක්වීමක් සිදු කරමින් පවසා තිබේ.

“කිසිම ශිෂ්ට සමාජයක් තමන් සතු සම්පත් අපතේ යවලා, ආනයනය කළ දෑ වලින් පොහොසතුන් වෙලා නෑ. අපි මේ ඉන්ධන මිල කියන දේ වසර 40ක් පුරාම දේශපාලනීකරණය කර තිබෙනවා. එය රටෙහි 10%ක් වන පොහොසතුන්ටත් අද සහනාධාරයක් විදියටයි ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන් මෙරට ඉන්ධන පරිභෝජනයෙන් 35%කටම දායක වෙනවා. ඒ නිසා දැන්වත් මේ ඉන්ධන මිල ඉහළ දැමිය යුතුයි. ඒ හරහා ලැබෙන මූල්‍යමය වාසිය ආර්ථික අවදානමේ පසුවන නිවෙස් වෙත ලබා දෙන්න.” ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 750