රිචර්ඩ් පීරිස් සහ සමාගමෙන් ශත 60 බැගින් පළමු අතරමැදි ලාභාංශයක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රිචර්ඩ් පීරිස් සහ සමාගම (රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී) (RICH.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 60ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදුවන බව සමාගම පවසයි.

මෙය 2021/22 මූල්‍යවර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවද රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන නොවැම්බර් 15 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 05 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගම පවසයි.

ඊයේ (26දා) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 17.60ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 17.70ට සාපේක්ෂව ශත 10ක එනම් -0.56%ක අඩුවීමකි. රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගම මේ වසරේ අප්‍රේල් මාසයේදීද කොටසකට රුපියල් ශත 50ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කළ අතර එය 2020/21 මූල්‍යවර්ෂය සඳහා ලබාදුන් දෙවැනි අතරමැදි ලාභාංශ විය.

Visits: 164