30%ක දේශීය අගය එකතු කිරීමක් සහිත Bolero City Pik Up රථය ඇමති විමල් අතින් වෙළඳපොළට

මහින්ද්‍රා අයිඩියල් ලංකා ආයතනය සිය මතුගම, වැලිපැන්න ඉදිකර ඇති වාහන එකලස් කිරීමේ අංගණයේදී 30%ක දේශීය අගය එකතු කිරීමක් සහිතව, පළමුවරට දේශීයව එකලස් කරන ලද Bolero City Pik Up රථය වෙළඳපොළට හඳුන්වාදීමේ අවස්ථාව ඊයේ (26දා) පැවැත්වුණි.

අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, උප සභාපති අරවින්ද ද සිල්වා, අධ්‍යක් චමින්ද වනිගරත්න යන මහත්වරුන්ගේ ආරාධනයෙන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සම්බන්ධ වී ඇත. එසේම කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතාද මෙම අවස්ථාවට එක්වී ඇත.

මෙහිදී අදහස් දක්වා සිටි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) හඳුන්වාදීමත් සමග මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින ආයතන දේශීය අගය එකතු කිරීම ඉහළ දමමින් සිටින බව පවසා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අපිට වාහන නිපදවීමේ කර්මාන්තය කළ නොහැක්කක් නොවන බවත් අප ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින්නේ ඒ දෙසට බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ. එසේම ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා පා තැබීමට අපට හැකියාව ඇති බවට විශ්වාසය පළ කළ හැකි බවද හෙතෙම සඳහන් කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාතවරයා, “කර්මාන්ත අමාත්‍යංශය අපි භාර ගත්තාට පසුව අමාත්‍යාංශයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ ද කැපවීමෙන් ඉතාම කෙටි කාලයක් තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයට අදාළ සම්මත මෙහෙයුම් පටිපාටිය(SOP) සකසා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර එයට පූර්ණ අනුමැතිය ලබා ගැනීමට හැකිවුණා. එම සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීම මගින් අපි බලාපොරොත්තු වුණේ දේශීය වශයෙන් වාහන නිපදවීමේ ප්‍රවණතාව, එහෙම නැතිනම් දේශීය වශයෙන් අගය වැඩි වැඩියෙන් එකතු කරමින් වාහන එකලස් කිරීමේ කර්මාන්තය ඉතාමත් ප්‍රබල ඉදිරි ගමනක් කරා රැගෙන යන්න. ඒ වනවිට රජය රට තුළ පැවැති ආර්ථිකමය විශේෂ හේතු මත වාහන ආනයනය නතර කර තිබුණා. ඒ නිසාම මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ යෙදී සිටි අයට මෙන්ම යෙදී නොසිටි අයට මෙම ක්ෂේත්‍රය කරා අවතීර්ණ වන්න එයත් එක්තරා ආකාරයක අපේක්ෂා නොකළ උත්තේජනයක් වුණා.” යනුවෙන්ද පවසා තිබේ.

Visits: 372