සංචාරක සහ ආගන්තුක සත්කාර අංශයන්හි සෘජු ආයෝජන අවස්ථා සඳහා ප්‍රංශයට ආරාධනා

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමේ අවස්ථාවට සමගාමීව ප්‍රංශයේ සංචාරයක නිරත වුණු කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ යන මහත්වරුන් එහි ප්‍රමුඛතම සංචාරක ක්‍රියාකරුවන් සමගින් සාකච්ඡාවක නිරත වූ බව පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඒ අනුව එම පිරිස පිළිවෙළින් 2021 ඔක්තෝබර් 05 සහ 07 යන දිනවල ප්‍රංශයේ ප්‍රමුඛතම සංචාරක ක්‍රියාකරුවන් වන ඇකෝර් හොටෙල්ස් සමාගම සහ ක්ලබ් මෙඩ් සමාගම හමු වී තිබේ.

මේ අතරින් ප්‍රංශ බහුජාතික ආගන්තුක සත්කාරක සමාගමක් වන ඇකෝර් එස්.ඒ (Accor S.A.) සමාගම සතුව හෝටල්, නිවාඩු නිකේතන ආදී දේපළ පවතින අතර, එමඟින් එම දේපළ කළමනාකරණය කිරීම සහ අයිතිය පැවරීම යන කටයුතු ද සිදු කෙරේ.  යුරෝපයේ විශාලතම සත්කාරක සමාගම වන මෙම සමාගම ලොව හයවැනි විශාලතම සත්කාරක සමාගම ද වේ.

ක්ලබ් මෙඩ් යනු පැරීසිය සිය මූලස්ථානය කරගත් ප්‍රංශ සංචාරක සහ සංචාරක ව්‍යාපාර ක්‍රියාකරුවකු වන අතර, එය සියලු දීමනා ඇතුළත් නිවාඩු නිකේතනයක්ද වේ.

විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකාව සිය දොරටු සහ සීමා නැවත විවෘත කිරීමත් සමඟම, තම මීළඟ ආයෝජන ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට උනන්දුවෙන් පසුවන ශක්‍යතා සහිත ගෝලීය ආයෝජකයන් හේතුවෙන් අනාගතයේ දී දිවයින පුරා වසරකට ආසන්න වශයෙන් තවත් කාමර 30,000 ක පමණ ඉල්ලුමක් අවම වශයෙන් හටගනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

එහි අවස්ථාවක් ලෙස මෙලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එයාර් ෆ්‍රාන්ස් සමාගම විසින් කොළඹ සිට පැරිස් දක්වා සතියකට වරක් ක්‍රියාත්මක කෙරෙන ගුවන් ගමන් වාර තුන ආරම්භ කර තිබේ. ඒ හේතුවෙන් සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තුළ පවතින ශක්‍යතා තවදුරටත් ඉහළ ගොස් ඇතැයිද තානාපති කාර්යාලය පවසයි.

Visits: 93