LANKAQR සේවාව රට පුරා ජනගතකරණය ඇරඹේ

මුදල් භාවිතයෙන් කෙරෙන ගනුදෙනු ඩිජිටල් තාක්ෂණික QR කේත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට අවස්ථාව සලසන LANKAQR සේවාව රට පුරා ජනගතකරණ වැඩසටහන ඊයේ (24) මහ බැංකුවේදී ආරම්භ විය.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස තරුණ හා ක්‍රීඩා සහ සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා සහභාගි විය.

මෙම සේවාව හරහා ලංකා ධීවර සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ආගමන විගමන දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන මෙන්ම PickMe, IOC, DSI ඇතුළු පෞද්ගලික ව්‍යාපාරික ආයතන සමග ගනුදෙනු කිරීමේදී ලංකා QR කේතු ක්‍රමය භාවිත කරමින් පහසුවෙන් ගනුදෙනු කිරීමේ හැකියාව ලැබෙන බව මහ බැංකුව පවසයි.

ඒ අනුව මෙහිදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගෙවීම් ලංකා බැංකුවෙහි Smartpay ගෙවීම හරහාද, ග්ලෝමාර්ක් වෙළෙඳ සැල් ජාලයේ ගෙවීම් NDB බැංකුවෙහි NEOS හරහාද, දම්රෝ සමාගමේ ගෙවීම් සම්පත් බැංකුව හරහාද, කීල්ස් වෙළෙඳ සැල් ජාලයේ ගෙවීම් HNB SOLO හරහාද, ලංකා ධීවර සංස්ථාවේ අලෙවි සැල්වල ගෙවීම් මහජන බැංකුවෙහි පීපල්ස් පේ හරහාද, හමීඩියා ආයතනයේ ගෙවීම් SLT Mobiltel M Cash හරහාද, මාර්ග සංවර්ධන අධිකාරියේ ගෙවීම් නේෂන් ට්‍රස්ට් බැංකුවෙහි FreeMi හරහාද, ලංකා අයිඕසී ගෙවීම් සෙලාන් බැංකුව හරහාද, PickMe ගෙවීම් LOLC ෆිනෑන්ස්හි iPay හරහාද, DSI ගෙවීම් කොමර්ෂල් බැංකුවෙහි Q+ හරහාද ගෙවීමට පහසුකම් සැලසෙන ලෙස මෙහිදී එකඟතාවන්ට පත්වීම්ද සිදු විය.

මෙම අවස්ථාවට, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ධීවර රාජ්‍ය අමාත්‍ය ගරු කංචන විජේසේකර, ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, මහබැංකුවේ නිලධාරීන්, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

Visits: 55