EXPO සහ CLC දායකත්වයත් සමග ASPI ඒකක 10,000 කඩඉම පසුකරයි

අද (ඔක්තෝබර් 25) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පිට පිට 6 වැනි දිනටත් ඉහළ ගැනුම්බරතාවකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සහ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම්හි කොටස් වටිනාකම් ඉහළ යෑමත් සමගින් අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය 10,000 කඩඉම පසු කිරීමට සමත්විය.

එසේම නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශයේ සමාගම්ද තවදුරටත් ඉහළ ගැනුම්බරතාවකින් ක්‍රියාත්මකවිමත් සමගින්ම හොඳ ඉපැයීම් වාර්තා කරනු ඇතැයි කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහි ප්‍රතිඵල ලෙස දර්ශක අගයන් තවදුරටත් ඉහළටම යනු ඇතැයිද අදහස වී තිබේ.  

ඒ අනුව අද දිනයේදී ඒකක 9,915.22ත් ඒකක 10,079.58ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 10,046.80ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 22) දිනයට සාපේක්ෂව ඒකක 131.58ක් එනම් +1.33%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, හැටන් නැෂනල් බැංකුව, එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, හේලීස් පීඑල්සී සහ අමානා බැංකුව තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 4.1%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 97ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 97ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+69.09), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+18.61), වැලිබල් වන්  පීඑල්සී VONE (+14.06), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (+5.47), ඇම්බියොන් කැපිටල් පීඑල්සී TAP (+5.4), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-5.07), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-2.36), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-2.15), සම්පත් බැංකුව පීඑල්සී SAMP (-2.05), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-1.78) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,644.73ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 24) ‍ට සාපේක්ෂව ඒකක 39.01ක එනම් +1.08%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.85ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 22) වාර්තා කළ රුපියල් බිලියන 4.46 ට  සාපේක්ෂව 54% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.47ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 51.22%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 72.28ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 106.1ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 33.82කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 45.57ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 18.37 කි. එසේම අමානා බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 26.28ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,414ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 35%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ සමාගම් සහ ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,863ක සහ රුපියල් මිලියන 667ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 215