මෙවර T20 ලෝක කුසලානයේ ජයග්‍රාහකයන්ට රුපියල් මිලියන 323ක්

ඊයේ (ඔක් 17දා) ඕමානයේදී ආරම්භ වුණු මෙවර T20 ලෝක කුසලාන (ICC T20 World Cup 2021) තරගාවලියේදී පිරිනමන සමස්ත ත්‍යාග මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 5.6ක් (එනම් රුපියල් 1,131,200,000ක්) වන බව ප්‍රකාශයට පත් කෙරී තිබේ.

ඒ අනුව මෙවර තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් 16 අතර මෙම ත්‍යාග මුදල් බෙදී යාමට නියමිතව ඇත.

ඒ අතරින් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා ජයග්‍රාහී කණ්ඩායම සඳහා හිමි වන ත්‍යාග මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 1.6 ක් (එනම් රුපියල් 323,200,000ක්) බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.

එසේම අනුශූරතාවය වෙනුවෙන් පිරිනැමෙන මුදල එක්සත් ජනපද ඩොලර් 800,000 කි.

අවසන් පූර්ව තරගය පරාජයට පත්වන කණ්ඩායම් වෙත එක්සත් ජනපද ඩොලර් 400,000ක් බැගින් පිරිනැමේ.

එසේම දෙවැනි වටයෙන් ඉවත් වන කණ්ඩායමක් වෙනුවෙන් ඩොලර් 70,000ක්ද, දෙවැනි වටයේ ජයග්‍රහණයක් වෙනුවෙන් ඩොලර් 40,000ක්ද පිරිනැමේ.

මීට අමතරව පළමු වටයේ ජයග්‍රහණයක් වෙනුවෙන් හිමිවන ත්‍යාග මුදල ඩොලර් 40,000 කි.

මෙම T20 ලෝක කුසලානය දෙවසරකට වරක් පැවැත්වෙන්නකි. මෙවර T20 ලෝක කුසලානය 2020 වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබුණත්, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එය පැවැත්වීමට නොහැකි විය.

ඒ අනුව 2021 වසරේදී එය එක්සත් අරාබි එමීරය සහ ඕමානය වෙත විතැන් විය. 2022 වසරේ තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව සත්කාරකත්වය දක්වයි.

Visits: 57