EXPack මූලික කොටස් නිකුතුව ගැන නිමල් පෙරේරාගෙන් ඉඟියක්

මෙරට තුළ කොරුගේටඩ් පෙට්ටි නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන EXPack සමාගම මගින් සිදු කරන මූලික මහජන කොටස් නිකුතුව සම්බන්ධයෙන් ඉඟියක් පළ කිරීමට මෙරට මුල් පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා අද කටයුතු කර තිබේ.

සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ඒ මහතා මෙම අවස්ථාව පිළිබඳ කරුණු සඳහන් කර ඇත. ලබන ඔක්තෝබර් 22 වැනිදා මෙම මූලික මහජන කොටස් නිකුතුව විවෘත කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව කවර තරගකරුවෙකු කුමක් කීවද තමන් EXPack මූලික කොටස් නිකුතුවෙන් කොටස් මිලදී ගැනීමක් සිදු කරන බව නිමල් පෙරේරා මහතා පවසයි. එසේම එය බොහෝ කාලයකට පසුව තමන් පළමු මූලික මහජන කොටස් නිකුතුවකින් කොටස් මිලදී ගැනීමක් සිදු කරන පළමු අවස්ථාව මෙය බවද ඔහු පවසයි.

කෙසේ වෙතත් මෙම මූලික මහජන කොටස් නිකුතුවෙන් EXPack සමාගමේ කොටස් මිලදී ගැනීම ඉල්ලුම් කිරීමට පෙරාතුව එහි සංස්ථා ප්‍රකාශය හොඳින් කියවා බලන ලෙසද ඔහු ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටියි.

“තරගකරුවන් මොනවා කිව්වත් මම නම් EXPack මූලික මහජන කොටස් නිකුතුවට ඉල්ලුම් කරනවා. එය බොහෝ කාලයකට පසුව මම මූලික මහජන කොටස් නිකුතුවක් සඳහා සිදු කරන පළමු ඉල්ලුම් කිරීම වේවි. ඒ වුණත් මේ කොටස් නිකුතුව සඳහා අයැදුම් කිරිමට පෙර සමාගමේ සංස්ථා ප්‍රකාශය හොඳින් කියවන්න.” නිමල් පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම Ex-Pack Corrugated Cartons සමාගම Aberdeen Holdings සමාගමේ පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගමකි. මීට පෙර Expolanka Investments (පුද්.) සමාගම ලෙස හැඳින්වුණු Aberdeen Holdings සමාගම, පවුල් සමාගමක් ලෙස ආරම්භ වූ, වසර 30 කට අධික ඉතිහාසයක් සහිත, රට තුළ විශාල කීර්තියක් දිනාගත් සමාගමක්ද වේ. 

මෙම නිකුතුවහි කළමනාකරුවන් ලෙස Capital Alliance Partners Limited සහ Asia Securities Advisors Pvt Ltd යන සමාගම් කටයුතු කරයි.

මෙහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 83ක් (83,333,333ක්) නිකුත් කිරීමට සමාගම අපේක්ෂා කරයි. මෙම එක් කොටසක් රු. 8.40 කට මිල කර ඇති අතර, මෙහි අපේක්ෂිත වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 2.8 කි. 2022 මූල්‍ය වර්ෂය සඳහා මෙහි ඇස්තමේන්තුගත FuturePER මට්ටම 7.7x වන අතර, ImpliedTTM PER මට්ටම (2021 අගෝස්තු වන විට) of 8.9x ක් වන බවත් සමාගම ප්‍රකාශ කර තිබේ.

Visits: 1307