ශ්‍රී ලංකාවේ සමාගම් 11ක පොල් නිෂ්පාදන ප්‍රවර්ධනය කෙරෙන “HI Japan” වෙළඳ ප්‍රදර්ශනය

පොල් සංවර්ධන අධිකාරියේ (CDA) අරමුදල් යටතේ ජපානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් සංවිධානය කොට ප්‍රවර්ධනය කරන ලද “HI Japan” වෙළඳ ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ සමාගම් 11 ක පුළුල් පරාසයක විහිදුනු පොල් ආශ්‍රිත අපනයන නිෂ්පාදන ප්‍රදර්ශනය කෙරෙන බව ටෝකියෝ නුවර තානාපති මණ්ඩලය පවසයි.

මෙම නිෂ්පාදන පරාසයට පොල්තෙල්, වර්ජින් පොල්තෙල්, එම්.සී.ටී. තෙල්, පිටි කළ පොල්, වියළන ලද පොල්, කුඩා පොල් කැබලි, පොල් කිරි, පොල් කිරිපිටි, පොල් පැණි, සිරප් සහ ක්‍රීම් යනාදිය ඇතුළත්ව තිබී ඇත.

එසේම පොල් විනාකිරි, ඇමයිනෝ, පොල් බටර්, සීනි, පොල් වතුර සහ තැඹිලි වතුර ආශ්‍රිත නිෂ්පාදන වැනි නව නිෂ්පාදන ද මෙහිදී ප්‍රදර්ශනයට එක් කර තිබේ.

පොල් ආශ්‍රිත නිෂ්පාදන අතරින් වඩාත් ජනප්‍රිය නිෂ්පාදන වන වර්ජින් පොල්තෙල්, පිටි කළ පොල් සහ වියළන ලද පොල් සම්බන්ධයෙන් ශක්‍යතා සහිත ජපන් ගැනුම්කරුවන්ගෙන් විමසීම් 60 කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශන කුටියට ලැබුණු බව තානාපති මණ්ඩලය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියට ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ දූත මණ්ඩලයේ කාර්ය මණ්ඩලයද සහභාගී වී තිබේ.

මෙම කර්තව්‍යය ඉදිරියට ගෙන යාමට සහ වෙබ් සාකච්ඡා තුළින් අපනයනකරුවන් අනාගත ගැනුම්කරුවන් සමඟ සෘජුවම සම්බන්ධ කර ගැනීමට දූත මණ්ඩලය අපේක්ෂා කරන බවත් ජපාන තානාපති මණ්ඩලය පවසයි.

එහිදී සාම්පල සහ විස්තර පත්‍රිකා නැව්ගත කිරීමට පෙර තානාපති මණ්ඩලය විසින් පරිවර්තන සේවා, ලඝු ලේඛන සේවා මෙන්ම ජපන් රෙගුලාසිවලට අනුකූලව ඇසුරුම්වල ගුණාත්මකභාවය පරීක්ෂා  කිරීම සිදු කෙරෙන අතර, එම සේවය සෑම ශ්‍රී ලාංකික අපනයනකරුවකුටම සපයනු ලබන සේවයක් බවත් පවසයි.

Visits: 126