ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී තවත් මූල්‍ය ආයතනයක් හා ඒකාබද්ධ කිරීමට සැලසුමක්

අර්බුදයට ලක්ව අද වනවිට ව්‍යාපාරික මෙහෙයුම් අත්හිටුවා ඇති ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී (SFS.N0000) ආයතනයේ ව්‍යාපාර කටයුතු මාස හයක සීමිත කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන පරිදි යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව මහ බැංකුව පවසයි.

ඒ අනුව 2021 ඔක්තෝබර් 13 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස හයක කාලයකට එම ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නියෝගයක් නිකුත් කරන බව මහ බැංකුව සඳහන් කරයි.

මෙහිදී මූලිකවම ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී සමාගම බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්මට අන්තර්ග්‍රහණය කිරීමේ හැකියාව පිළිබඳව අධ්‍යයනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමේ අදහස බව මහ බැංකුව මෙහිදී පවසයි.

ඒ අනුව 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වගන්තිය ප්‍රකාරව, මහ බැංකුව විසින් මෙම ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර ලබා දී තිබේ.

“ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයේ කටයුතු තවදුරටත් කළමනාකරණය කිරීමට සහ ඉහත සඳහන් ක්‍රියාවලියට අදාළ කටයුතු ආරම්භ කිරීමට සහ පහසුකම් සැලසීමට මුදල් මණ්ඩලය මගින් පත් කරන ලද කළමනාකරණ මණ්ඩලය වෙත බලය පවරා ඇති අතර, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයේ අධ්‍යක්ෂවරුන් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ/හෝ කළමනාකරණ මණ්ඩලය විසින් බලය පවරනු ලබන කාර්යයන් පමණක් ඉටු කරනු ඇත.” යනුවෙන් මෙහි සඳහන් වෙයි.

එසේම මෙම ව්‍යාපාර යළි ආරම්භ කිරීම ආයතනය බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්මට අන්තර්ජග්‍රහණය කිරීම හා සම්බන්ධ කටයුතු හැර වෙනස් තිසිදු ආකාරයක මූල්‍ය ව්‍යාපාර හෝ වෙනත් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට එම ආයතනය වෙත අවසර ලබා දී නොමැති බවත් මහ බැංකුව පවසයි.

ඒ අනුව ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය සමග පවත්නා ගිවිසුම්ගත බැදීමවලට අදාළ පියවීම් හැර එම ආයතනයේ මුදල් තැන්පත් කිරීම හෝ ආයතනය සමග වෙනත් කිසිදු ආකාරයකින් ව්‍යපාර කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙසද මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Visits: 350