සෙලින්කෝ ලයිෆ් 2021 වසරේ ශ්‍රී ලංකාවේ ‘වඩාත් ප්‍රසාදයට ලක් වූ’ සමාගම් 10 අතරට

ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL), කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව 2021 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම් 10’ ලයිස්තුවට සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගෙන ඇතැයි පවසයි.

මෙම ලයිස්තුවේ ‘පළමු සමාගම් 10’ සහ ‘ගෞරවණීය සඳහන්’ ලැබූ සමාගම් පහ අතර සිටින එකම රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ් වේ. මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම් ලයිස්තුවට ඇතුළත් වූ තෙවන අවස්ථාව මෙයයි.

‘මහජනයාගේ ගෞරවය වඩාත් දිනාගත යුතු සමයක ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම් ලයිස්තුවට ඇතුළත්වීම අපට අතිශය සතුටක්,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්ව ඇති ඒ මහතා, ‘අසීරු අවස්ථාවන්හිදී ව්‍යාපාර පිළිබඳ සත්‍ය තත්ත්වය හෙළි වෙනවා. මෙම ලයිස්තුවේ කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණීමට එක් ප‍්‍රධාන සාධකයක් වන්නේ වසංගතයේ බලපෑම මැද වුවත් අපගේ ගනුදෙනුකරුවන්ගේ අනාගතය අවධානමෙන් මුදවා ගැනීම සඳහා අපගේ ප‍්‍රවේශය මෙන්ම සමාගමේ දැක්ම සාර්ථක කරගැනීමට අප අඛණ්ඩව කටයුතු කිරීමයි.’ යනුවෙන්ද පවසා තිබේ.

මෙම සමාගම් අතර ලයිස්තුගත සහ ලයිස්තුගත නොවූ සමාගම් ඇතුළත්වී තිබේ. මේ සඳහා තෝරා ගැනීමේදී මූල්‍ය කාර්ය සාධනයට අමතරව කොටස්කරුවන්ට, පාරිභෝගිකයින්ට, සේවකයින්ට සහ පුළුල් වශයෙන් සමාජයට සිදුකළ අගය එකතු කිරීම සැලකිල්ලට ගෙන තිබේ. මෙම සම්මානය මගින් ඇගයීමට ලක්කර තිබෙන්නේ මෙම සමාගම්වල තිබෙන ස්ථාවරත්වය, ශක්තිය, තිරසාර වර්ධනය සහ විශිෂ්ට ව්‍යාපාරික කාර්ය සාධනයයි.  

සෙලින්කෝ ලයිෆ් 2020 වසරේදී රුපියල් බිලියන 150 ක වත්කම්ද, රුපියල් බිලියන 36.9 ක සමස්ත ආදායමක්ද, රුපියල් බිලියන 22.1 ක රක්ෂණ වාරික ආදායමක්ද, රුපියල් බිලියන 106.7 ක ජීවිත අරමුදලක්ද, රුපියල් බිලියන 133.7 ක ආයෝජන කළඹක්ද, රුපියල් බිලියන 8.7 ක බදු වලට පෙර ලාභයක්ද වාර්තා කර තිබේ.

ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සහ කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය එක්ව මෙරට වඩාත් ප‍්‍රසාදයට ලක් වූ සමාගම් ලයිස්තුව සකස් කිරීමේදී ජාත්‍යන්තර පිළිගත් ක‍්‍රමවේදයකට අනුව ඉතාමත් දැඩි ඇගයීමක් සිදුකරන අතර මෙම තෝරාගැනීම සිදුකරන්නේ කීර්තිමත් විනිසුරු මඩුල්ලක් විසිනි. මෙහිදී, අනුගමනය කරන ප‍්‍රමාණාත්මක ක‍්‍රමවේදයට මූල්‍ය ස්ථායීතාවය, දිගුකාලීන ආයෝජන වටිනාකම් නිර්මාණය කිරීම, ඉපැයුම් වර්ධනය සහ ලාභාංශ ගෙවීම ඇතුළත් වන අතර ගුණාත්මක ක‍්‍රමවේදයට කළමනාකරණ ගුණාත්මකභාවය, නිෂ්පාදන සහ සේවාවල ගුණාත්මක තත්ත්වය, තරඟකාරීත්වය, ආකර්ශනය කර ගැනීමට තිබෙන හැකියාව, සංවර්ධනය, දක්ෂතාවය සහ නවෝත්පාදනය තබාගැනීම, අවංකභාවය සහ ව්‍යාපාරික සදාචාරයද ඇතුළත්ව පාරිසරික, සමාජ සහ ආයතනික වගකීම සැලකිල්ලට ගෙන තිබේ.

අතිවිශිෂ්ට ව්‍යාපාරික කාර්ය සාධනයක් සහ අනිකුත් ඉලක්ක ජයගත් සමාගම් සඳහා මෙම සම්මානය ලබාදෙන බව මෙම සම්මාන ප‍්‍රදානය කරන්නන් සඳහන් කරයි. මෙම සම්මාන සඳහා සුදුසුකම් ලබන්නේ 2021 ජුනි 30 වනදා වනවිට වසර පහකට වැඩිකාලයක් ව්‍යාපාර කර තිබෙන 30% ක් හෝ එයට වඩා දේශීය හිමිකාරීත්වයක් ඇති සමාගම් පමණි. 

Visits: 53