කොළඹ – යාපනය ගුවන් ගමන් යළි ඇරඹීමට යයි

කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිට වු කොළඹ – යාපනය ගුවන් ගමන් යළි අරඹන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දී ඇතැයි සංචාරක අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලබන මස මැද දී මෙම ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට සැලසුම් කර ඇතැයි සඳහන් වෙයි.

පසුගිය වසරේ මාර්තු මාසයේ රට වසා දැමීමට පෙර කොළඹ – රත්මලාන ගුවන් තොටුපළේ සිට යාපනය – පළාලි ගුවන් තොටුපළ දක්වා සතියකට දෙවරක් ගුවන් ගමන් සිදු කෙරිණි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය යළි ආරම්භ කිරීමට නොහැකි විය.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශද සැලකිල්ලට ගනිමින් එම ගුවන් ගමන් යළි ආරම්භ කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී තිබේ.

එහිදී සතියට දෙවරක් කොළඹ සහ යාපනය අතර ගමන් කෙරුණු මෙම අභ්‍යන්තර ගුවන් ගමන් දෛනිකව සිදු කිරීමේ හැකියාව සොයා බලන ලෙස ද, ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට උපදෙස් දී ඇතැයි අමාත්‍යාංශය පවසයි.

මේ අතර  කොවිඩ් වසංගතය හේතුවෙන් අත් හිටුවා තිබු යාපනය – චෙන්නායි සෘජු ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමු ව තිබේ. එය සිදු කෙරෙන්නේ ද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි.

එසේම යාපනය පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සදහා ද රජය අවධානය යොමු කර ඇති අතර කොවිඩ් තත්ත්වය හේතුවෙන් එහි කටයුතු වලට ද බාධා එල්ල විය. ඒ පිළිබද ව ද ඉදිරියේ දි විශේෂ අවධානය යොමු කෙරෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Visits: 130