විදුල්ලංකා පීඑල්සී ඉදිකළ මොණරාගල සූර්ය විදුලි බලාගාරයේ වාණිජ මෙහෙයුම් ඇරඹේ

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පුනර්ජනීය බලශක්ති උත්පාදන සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමාගම මගින් ක්‍රියාත්මක කරන මොනරාගල සූර්ය විදුලි බලාගාරයේ වාණිජ මෙහෙයුම් අද (ඔක්තෝබර් 08) දිනයේදී ආරම්භ කෙරුණු බව එම සමාගම දැනුම් දී සිටියි.

එම සමාගම යටතේ පවතින පරිපාලිත සමාගමක් වන ඔරික් කෝපරේෂන් (පෞද්) සමාගම මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන බව පැවසෙයි.

එසේම මෙය විදුල්ලංකා සමූහය මගින් ගොඩබිම පිහිටවූ පළමු සූර්ය පැනල ව්‍යාපෘතිය ලෙසින්ද සනිටුහන්ව තිබේ.

මෙම බලාගාරයේ විදුලි උත්පාදන ධාරිතාව මෙගාවොට් 1කි. එමගින් වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතිය වෙත ගිගාවොට් පැය 1.5ක් ලබා දීම සැලසුම වී තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය සහ විදුල්ලංකා පීඑල්සී සමාගම අතර ඇති කරගෙන ඇති විදුලි බලය මිලදී ගැනීමේ එකඟතාව අනුව සූර්ය බල සංග්‍රාමය අදියර II වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරී ඇත.

ඒ අනුව මෙම බලාගාරය මගින් නිපදවෙන විදුලිය වසර 20ත කාලසීමාවක් සඳහා ඒකකයක් රුපියල් 15.90 බැගින් ලංකා විදුලි බල මණ්ඩලයට අලෙවි කිරීම සිදු වන බවත් විදුල්ලංකා පීඑල්සී සමාගම සඳහන් කරයි.

විදුල්ලංකා පීඑල්සී සමාගම මගින් මේ වසරේ පෙබරවාරි මාසයේදී ඔරික් කෝපරේෂන් (පෞද්) සමාගම අත්පත් කරගත් අතර, අද වනවිට සමාගමේ 87%ක කොටස් හිමිකමක් විදුල්ලංකා පීඑල්සී වෙත සතුව තිබේ. ඉතිරි 13%ක ප්‍රතිශතය අනෙකුත් ආයෝජකයන් සතුව පවතී.

Visits: 332