‘කප්රුක‘ ඉදිරි සති කිහිපය ඇතුළත ක්‍රිප්ටෝ මුදල් මගින් ගෙවීම් භාරගැනීමට සූදානමින්ලු

මෙරට තුළ අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන මුල් පෙළේ වෙබ් අඩවියක් වන ‘කප්රුක‘ (kapruka.com) වෙබ් අඩවිය ක්‍රිප්ටෝ මුදල් ඒකක මගින් තම ගෙවීම් භාර ගැනීමට සූදානමින් සිටින බව එහි නිර්මාතෘවරයා වන දුලිත් හේරත් පවසයි.

මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා විසින් අද පෙරවරුවේදී තැබූ සටහනකට ප්‍රතිචාර දක්වමින් දුලිත් හේරත් මහතා මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළතදී මෙලෙස ක්‍රිප්ටෝ මුදල් ඒකක මගින් ගෙවීමේ හැකියාව කප්රුක වෙබ් අඩවිය වෙත හඳුන්වා දෙන බවද හෙතෙම මෙහිදී සඳහන් කර ඇත.

මෙම සංවාදය ආරම්භ කරමින් අද පෙරවරුවේදී සිය සටහන තැබූ නිමල් පෙරේරා මහතා, අද වනවිට මෙරට තුළ නීත්‍යානුකූල ගනුදෙනු ක්‍රමයක් ලෙස ස්ථාපිත වී නැති නමුත්, බොහෝ තරුණ ආයෝජකයන් අතර මෙම ක්‍රිප්ටෝ මුදල් ඒකක පිළිබඳ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බව සඳහන් කර තිබේ.

ඒ අනුව තමන්ද ඉදිරියේදී මෙම ක්‍රිප්ටෝ මුදල් ඒකක ගිණුමක් ආරම්භ කිරීමටද සැලසුම් කර තිබෙන බවත්, සිය ගනුදෙනුවලදී යොදා ගන්නා සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් ක්‍රමයෙන් ඉවත්වීමට අදහස් කරගෙන සිටින බවත් ඔහු පවසා තිබේ. එසේම තමන්ද තරුණයන්ගෙන් මේ ගැන ඉගෙන ගන්නා බවත් ඔහු සඳහන් කර සිටියි.

පසුගියදා නිකුත් වුණු කැබිනට් තීරණ දැනුම් දීමේදී මෙරට තුළ ගනුදෙනු සඳහා ක්‍රිප්ටෝ මුදල් සහ බ්ලොක්චේන් තාක්ෂණය ලංකාවට හඳුන්වාදීමේ ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම සඳහා වන යෝජනාවට අනුමැතිය හිමිව ඇති බව ප්‍රකාශ කිරීමත් සමගින්ම ඒ පිළිබඳව වන උනන්දුව ඉහළ ගොස් ඇත.

Views: 1081