CSE තුළ ඉස්ලාමීය ප්‍රාග්ධන නිෂ්පාදන සහතික කිරීමට ෂරියා විද්වතුන් හය දෙනෙකු පත් කෙරේ

කොළඹ කොටස් හුවමාරුව (CSE) තුළ ෂරීයා නිතියට අනුකූල ප්‍රාග්ධන නිෂ්පාදන ලැයිස්තුගත කිරීමට අදාළ සහතික කිරීම් වෙනුවෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) “පරිපූරක සේවා සපයන්නන්” ලෙස ෂරීයා විද්වතුන් හය දෙනෙකු පත් කර ඇතැයි පවසයි.

ෂරියා නීතිය හා අනුකූල ණය සුරැකුම්පත් සඳහා වන දේශීය හා ජාත්‍යන්තර ඉල්ලුම හඳුනාගනිමින් කොළඹ කොටස් වෙළඳ පොළට එම නිෂ්පාදන හඳුන්වාදීමට නියාමන රාමුවක් අනුමත කරමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මෙම ෂරීයා විද්වතුන් හය දෙනා පත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව පදනම් කරගනිමින් කටයුතු කිරීම සඳහා මුහම්මද් මුර්ෂිඩ් මර්සා මුලෆර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගනිමින් කටයුතු කිරීම සඳහා ඊබ්‍රහිම් සාද් යූසුෆ් අබ්ඩ අලාසිස්, දකුණු අප්‍රිකාව පදනම් කරගනිමින් කටයුතු කිරිම සඳහා ෂෆීක් අහමඩ් ජඛුරා, මැලේසියාව පදනම් කරගනිමින් කටයුතු කිරීම සඳහා ආචාර්ය අයිෂාත් මුනීසා, සෞදි අරාබිය පදනම් කරගනිමින් කටයුතු කිරීම සඳහා මොහමඩ් සිරාජ් නජුබුදීන් සහ  ආචාර්ය සුලෙයිමාන් දල්හාතු සානි යන මහත්වරුන් මෙලෙස පත් කෙරී තිබේ.

මෙහිදී කොළඹ කොටස් වෙළඳ පොළේ ලැයිස්තුගත කිරීම් නීති රීතිවලට අනුකූලව ඉස්ලාමීය ප්‍රාග්ධන වෙළඳ පොළ නිෂ්පාදනවල ෂරීයා අනුකූලතාව සහතික කිරීම ඔවුන්ගේ කාර්ය භාරය බව සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව පවසයි.

මේ හරහා ඉස්ලාමීය ආයෝජකයන් අතර කොළඹ කොටස් හුවමාරුව සම්බන්ධයෙන් විශ්වාසනීයත්වය තවදුරටත් තහවුරු වනු ඇතැයිද එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Views: 0