විදේශ ප්‍රේෂණ ඉහළ දැමීමට SL-Remit නමින් ජංගම යෙදුමක් හඳුන්වාදීමට යයි

මෙරට වෙත වැඩි ප්‍රේෂණ ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීම සඳහා SL – Remit නමින් ජාතික ප්‍රේෂණ ජංගම යෙදුමක් හඳුන්වාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මුදල් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ලංකා ක්ලියර් (පෞද්) සමාගම වැනි පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව මෙම SL-Remit ජංගම යෙදුම ක්‍රියාත්මක කරනු ලබන බව සඳහන් වෙයි.

මෙරට වෙත සිදු කරන විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩි කිරීම සඳහා මෙන්ම අවිධිමත් ක්‍රමවේද අධෛර්යමත් කිරීමේ අවශ්‍යතාව යටතේ නව ප්‍රේෂණ ක්‍රමවේද අධ්‍යයනය කරමින් ශ්‍රී ලංකාවට අඩු පිරිවැයක් සහිතව විදේශ ප්‍රේෂණ එවීමේ ක්‍රමවේද පිළිබඳ නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීමට පත් කරන ලද ක්‍රියාකාරී කමිටුව මගින් මෙම SL –Remit ජංගම යෙදුම පිළිබඳව යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, හොංකොං සහ ෂැංහයි බැංකුව, කාගිල්ස් බැංකුව, ඩයලොග් ආසිආටා, මොබිටෙල් (පෞද්) සමාගම සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි පළපුරුදු වෘත්තිකයන්ගෙන් මෙම කමිටුව සමන්විත වී තිබේ.

ඒ අනුව මෙම SL Remit ජාතික ප්‍රේෂණ ජංගම යෙදුමස්වයං පරිශීලක ලියාපදිංචිය, ගෝලීය මුදල් හුවමාරු ක්‍රියාකරුවන්ට හා ගෝලීය මූල්‍යතාක්ෂණ සේවා සැලසුම්කරුවන්ට සම්බන්ධ වී ඕනෑම රටක සිට මුදල් එවීමට පසුකම් සැලසීමට හැකි ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එසේම ශ්‍රී ලංකාව තුළ ඕනෑම බැංකු ගිණුමකට/ජංගම පසුම්බියකට ක්ෂණිකව අරමුදල් මාරු කිරීම වැනි විශේෂාංගද ඊට ඇතුළත්ව ඇතැයි පැවසෙයි.

මෙයට අමතරව ආකර්ෂණීය විදේශ විනිමය අනුපාත ඉදිරිපත් කිරීම, අඩු ගනුදෙනු ගාස්තු සහිත වීම සහ ඍජු බිල්පත් ගෙවීමේ පහසුකම් වැනි වටිනාකම් එකතු කළ සේවාවන් රැසක්ද මෙම යෙදුමට ඇතුළත් වන බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

Visits: 207