වසරකට චීන සංචාරකයන් මිලියනයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ඉලක්කයක්

අවම වශයෙන් වසරකට චීන සංචාරකයන් මිලියනයක් හෝ ශ්‍රී ලංකාව වෙත යොමු කරන ලෙස චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා පසුගියදා චීනයේ සංචාරක ක්‍රියාකරුවන් සහ රාජ්‍ය නොවන පාරිසරික සංවිධාන රැසක සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් සිදු කර ඇතැයි බීජිං නුවර චීන තානාපති කාර්යාලය පවසයි.

ඒ මහතාද සහභාගී වූ නගර නවීකරණ හා සංවර්ධන සමුළුව අමතමින් තානාපතිවරයා මෙම අදහස් පළ කරමින් චීන සංචාරක කණ්ඩායම් දිරිමත් කළ බව සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව සතු විසල් වන වැස්ම, 7000 ක් පමණ වූ වන අලි ගහණය, ආසියාවේ ඉහළම දිවියන් එකතුව, දැවැන්ත නිල් තල්මසා ඇතුළුව වෙරළ සීමාවේ සිටින තල්මසුන් ප්‍රභේද 26 ඇතුළත් ශ්‍රී ලංකාවේ හරිත සහතිකය පිළිබඳව තානාපතිවරයා සවිස්තරාත්මකව අදහස් දක්වා තිබේ.

එසේම 2030 වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් සඳහා පුනර්ජනනීය බලශක්තිය මත විශ්වාසය තබන බවත්, බහුලව භාවිතා කෙරෙන ඇතැම් ප්ලාස්ටික් වර්ග භාවිතය තහනම් කරන අතරතුර දී රසායන පොහොර ආනයනය ද නවතා දැමූ බව කොහොන මැතිතුමා අවධාරණය කර තිබේ.

විශිෂ්ට ඓතිහාසික භූමි, මහනුවර ශ්‍රී දළඳා මාළිගාව ඇතුළුව අනෙකුත් බෞද්ධ සිද්ධස්ථාන, නැවුම් සුවඳින් අනූන තේ වතු, කිලෝමීටර ගණන් දිගැති ජනාකීර්ණ නොවූ සුපිරිසිදු වෙරළ තීර පමණක් නොව, ලක්ෂ සංඛ්‍යාත සිනා පිරි මුහුණු සහ අසමසම ආගන්තුක සත්කාරය යනාදිය ශ්‍රී ලංකාව සතු සංචාරක ආකර්ෂණවලින් සමහරක් වන බවත් තානාපති වරයා පවසා තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති චීනයේ ප්‍රමුඛතම සංචාරක කණ්ඩායම් පහ ඇතුළත සිටින ‘කයිසා ට්‍රැවල් ගෲප්’ ආයතනය සංචරණ සීමා ඉවත් කළ වහාම ශ්‍රී ලංකාවට චීන සංචාරකයන් මිලියනයක් එවීම සඳහා උපරිම උත්සාහ ගන්නා බවට තානාපතිවරයා හමුවේ සහතික වී ඇතැයිද තානාපති කාර්යාලය පවසයි.

Visits: 113