Myland Developments සමාගමත් CSE හි ලැයිස්තුගතවීමේ උනන්දුවකින්ලු

ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වී අද වනවිට රටෙහි නිවාස සහ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නිරත මුල් පෙළේ සමාගමක් බවට පත්ව තිබෙන Myland Developments Ltd. කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමේ උනන්දුවකින් පසුවන බව සඳහන් කරයි.

ඒ අනුව එම සමාගම ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුවෙහි දිරිසවි පුවරුවෙහි ලැයිස්තුගතවීමට අදහස් කරගෙන සිටින බවත්, එහිදී මූලික මහජන කොටස් නිකුතුවක් වෙත සිය සමාගමෙහි කොටස් අතරින් 17%ක ප්‍රතිශතයක් නිකුත් කිරිමට අදහස් කරගෙන සිටින බවත් එම සමාගම පවසයි.

Myland Developments Ltd සමාගමෙහි නිර්මාතෘ/කළමනාකරණ අධ්‍යක්ෂ නලින් පෙරේරා මහතා අද දිනයේ පළ වුණු DailyFT පුවත්පත වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී මේ පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ.

2017 වසරේ මාර්තු මාසයේදී පෞද්ගලික සමාගමක් ලෙස ස්ථාපිත කෙරුණු Myland Developments Ltd සමාගම අංක 136/19 නුවර පාර, කඩවත යන ලිපිනයෙහි පිහිටා තිබේ. අද වනවිට පාරිභෝගිකයන් වෙනුවෙන් ඉඩම් මිලදී ගෙන ඒවායේ නිවාස ඉදිකිරීම මෙම සමාගම මගින් සිදු කරයි. එසේ නැත්නම් ආයෝජන අරමුණු සඳහාද ඉඩම් මිලදී ගැනීම්ද එම සමාගම විසින් සිදු කරනු ලබයි.

සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ නලින් පෙරේරා මහතා සඳහන් කරන ආකාරයට මේ දක්වා සමාගම මගින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ ව්‍යාපෘති 20කට වඩා වැඩියෙන් සම්පූර්ණ කර තිබේ. එසේම තවත් ව්‍යාපෘති හතරක් නිමා කිරීමට ආසන්නයේ පවතී.

මෙහිදී කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමේ අදහස සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඒ මහතා, “ආරම්භයේ සිටම අපගේ ව්‍යාපාර වෙත අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කිරීමේ ප්‍රභවය වුණේ බැංකු හරහා ලබාගත් ණයයි. මේ හරහා අපිට බැංකු වෙත අධික ණය පොලියක් ගෙවීමට සිදුව තිබෙනවා. අප සමාගම ආරම්භ කළ සමයේදී මෙරට බැංකු පොළී අනුපාත ඉතා ඉහළයි. අවාසනාවකට යළිත් වරක් එය ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා අපි අපේ අරමුදල් සම්පාදන විකල්පය වෙනත් ක්‍රමවේදයක් වෙත යොමු කිරීමේ අරමුණීන් තමයි කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමට තීරණය කළේය. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ සමාගමක් ලෙස එහි වර්ධනීය අවස්ථාවේදී සමාගමේ ලාභය බැංකු වෙත සිදු කරන පොළී ගෙවීමක් ලෙස කැප කැප කරන්න අපි කැමති නැහැ.” යනුවෙන් පවසා තිබේ.

“ඒ වගේම අපගේ කොටස්හිමිකරුවන්ට වුණත් අවශ්‍යයි අපගේ සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම කොපමණද කියලා. සීමිත පෞද්ගලික සමාගමක් විදියට අපිට බැහැ එය කොපමණද කියලා තේරුම් ගන්න. හැබැයි කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්තුගත කිරිම හරහා අපිට අපේ සමාගමේ වෙළෙඳ පොළ මිල පිළිබඳව අවබෝධයක් ලබා ගන්න හැකි වේවි.” ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

මෙලෙස සමාගම් ලැයිස්තුගත කිරිම සම්බන්ධයෙන් පසුගියදා Atarah Capital Partners සමාගම සහ කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරීවරයා එක්ව පැවැත් වූ වැඩසටහනක් වෙත තමන්ද සහභාගි වූ බවත්, ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් අසා සිටීමේදී මෙය සිය සමාගම වෙතත් වඩාත් හොඳ අවස්ථාවක් බව තේරුම් ගත් බවත් ඔහු සඳහ් කර තිබේ.

ඒ අනුව මෙම මූලික කොටස් නිකුතුවේ කළමනාකරුවන් ලෙස Atarah Capital Partners සමාගම කටයුතු කරයි. එහිදී දැනටමත් සිය ලැයිස්තුගත කිරීමේ ඉල්ලුම්පත්‍රය එම සමාගම වෙත ඉදිරිපත් කර ඇති බවත් නලින් පෙරේරා මහතා පවසයි. මේ සඳහා කොළඹ කොටස් හුවමාරුව මගින් ඉදිරියේදී අනුමැතිය ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඒ මහතා පවසන ආකාරයට 2017 මාර්තු මාසයේදී සිය ව්‍යාපාරික මෙහෙයුම් ආරම්භ කිරීමෙන් අනතුරුව 2017 මූල්‍ය වර්ෂය මූලිකවම සිය සමාගම යටතේ වන ඉඩම් බැංකුවක් ගොඩනැගීම සඳහා අවධානය යොමු කර තිබේ. අනතුරුව සමාගමේ පළමු අලෙවි කිරීම 2018 මූල්‍ය වර්ෂයේදී සිදුව ඇත. එම වර්ෂයේ සමාගමේ සමස්ත ආදායම රුපියල් මිලියන 66කි. ඉන් පසු වසරේදී (2019) සමාගමමගින් රුපියල් මිලියන 160ක ආදායමක් වාර්තා කර ඇත. එය වාර්ෂිකව 144%ක වර්ධනයකි. එම කාලසීමාව තුළදී සමාගම අලුතින් ව්‍යාපෘති නවයක්ද ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් 2020 මූල්‍ය වර්ෂය ඉතාමත් අභියෝගාත්මක වසරක් බවට පත් වූ බවත්, ඉහළ පොලී අනුපාත සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා ඇති වූ තත්ත්වයන් 2019 මූල්‍ය වර්ෂයේ ආදායම් වාර්තා හා සැසඳීමේදී පහතව වැටීමට හේතුවී තිබේ. එසේම 2020 වසරේදී කොවිඩ්19 වසංගත තත්ත්වයන් නිසා පැනවුණු ලොක්ඩවුන් සීමා සිය සමාගම වෙත බලපෑ බවත්, එම බාධා මධ්‍යයේ 2021 මූල්‍ය වර්ෂයේදී සමාගම රුපියල් මිලියන 168ක ආදායමක් වාර්තා කරගැනීමට සමත්ව ඇති බවත්, පවසයි. මෙය 38%ක වාර්ෂික වර්ධනයකි.

මේ අතර 2022 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී සමාගම මේ දක්වා ආසන්න වශයෙන් රුපියල් මිලියන 119 ක ආදායමක් හිමි කරගෙන ඇත. එය මෙම කාලසීමාව තුළදී ආදායමේ 40%ක වර්ධනයකි. එයද වසංගතය හේතුවෙන් 2021වසර තුළ මාස දෙකහමාරක කාලයක් ලොක්ඩවුන් සීමා පැනවීම් අතරතුරදී වාර්තා වී ඇතැයිද Myland Developments Ltd සමාගමෙහි නිර්මාතෘ/කළමනාකරණ අධ්‍යක්ෂ නලින් පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Visits: 207