ඉන්දුනීසියාව ජෙට් ඉන්ධන හා පාම් තෙල් මිශ්‍ර කර ගුවන් යානයක් පියාසර කරවයි

ඉන්දුනීසියාව පළමුවරට ජෙට් ඉන්ධන හා පාම් තෙල් මිශ්‍ර කරමින් ගුවන් යානාවක අත්හදාබැලීමේ පියාසැරියක් සිදු කළ බව එරට ආර්ථික අමාත්‍ය එයාර්ලන්ග්ගා හර්ටාර්ටෝ අද දිනයේදී මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.

එරට තුළ බහුලවම නිපදවන ආහාරයට ගත හැකි මෙම පාම් තෙල් තවත් නවෝත්පාදන අවස්ථා සඳහා යොදා ගත හැකි ලෙස වෙළෙඳ පොළ වෙත නිකුත් කිරීමේ ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් මෙම අත්හදා බැලීම සිදු කර තිබේ.

මෙහිදී අදාළ ගුවන් යානය එරට ජකර්තා අගනුවර සිට අසල්වැසි බැන්ඩුන්ග් නගරය දක්වා කිලෝමීටර් 100ක දුරක් පියාසර කළ බව අමාත්‍යවරයා පවසා ඇත.

“ඉන්දුනීසියාව තමයි අද වනවිට ලොව විශාලතම පාම් ඔයිල් නිෂ්පාදකයා. මෙම පාම් ඔයිල් යොදා ගනිමින් නවෝත්පාදන සිදු කිරීම් අවශ්‍යයි. උදාහරණයක් ලෙස බයෝඩීසල්, බයෝ ජෙට් ඉන්ධන නිපදවීම එහිදී ප්‍රධානයි.” යනුවෙන් ඔහු පවසා ඇත.

ඒ අනුව මෙහිදී ඔහු සඳහන් කළ බයෝඩීසල් නිපදවීම සම්පූර්ණයෙන්ම එරට රජයට අයත් ඉන්ධන සමාගම වන Pertamina මගින් සිදු කරන බවත් ඔහු පවසා තිබේ.

ඉන්දුනීසියානු බලධාරීන්ට අනුව පසුගියදා සිදු කළ මෙම අත්හදා බැලීමේදී යොදා ගත් ජෙට් ඉන්ධන තුළ පාම් තෙල් 2.4%ක ප්‍රතිශතයක් තිබී ඇත. මෙය පාම් ඔයිල් යොදා ගනිමින් සිදු කරන ඉන්ධන නිෂ්පාදනය පිළිබඳව වන රෙගුලාසි යටතේ පැවතිය යුතු අවම ප්‍රතිශතයයි. මෙය වසර 2025 වන විට 5%ක් දක්වා ඉහළ නැංවිමටද කටයුතු යොදා තිබේ.

මේ අතර මෙම පාම් ඔයිල් යොදා ගෙන සිදුකරන බයෝ ඩීසල් මගින් සිදුවන අහිතකර වායු විමෝචනයත් සැලකිය යුතු ලෙස අඩු අගයක් ගන්නා බව පැවසෙයි.

කෙසේ වෙතත් මෙම පාම් ඔයිල් වගාව සඳහා දැඩි වනාන්තර විනාශයක් සිදු වීම පිළිබඳව පරිසරවේදීන්ගේ දැඩි අවධානයට යොමුව තිබේ. මේ අතර යුරෝපා සංගමයද ඉදිරියේදී පාම් ඔයිල් යොදා ගනිමින් සිදුකරන බයෝඩීසල් එරට තුළ තහනම් කිරිමටද කටයුතු යොදමින් සිටින බවත් පැවසෙයි.

Visits: 114