ඊබී ක්‍රීසි සහ සමාගමේ ලාභාංශ නිවේදනයෙන් පසු කොටසක් 9.21%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඊබී ක්‍රීසි සහ සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද දිනයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1 බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව ඊබී ක්‍රීසි සහ සමාගම පවසයි.

මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා සමාගම ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවීමේ දිනය ලෙස ලබන දෙසැම්බර් 01 වැනිදා ප්‍රකාශයට පත් කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 12 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර එම ලාභාංශ ගෙවීමේ යෝජනාව සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත්, ඊබී ක්‍රීසි සහ සමාගම පවසයි.

ඒ අනුව ඊට අදාළව පැවැත්වෙන සමාගමේ මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන නොවැම්බර් 11 වැනිදා පැවැත්වෙන බවත් සමාගම සඳහන් කරයි.

මෙම ලාභාංශ නිවේදනයත් සමගින්ම අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරතුරදී ඊබී ක්‍රීසි සහ සමාගමේ කොටසක වටිනාකම රුපියල් 24.90ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව රුපියල් 2.10ක් එනම් 9.21%කින් ඉහළ නැග තිබේ.

Visits: 196