රාජන් ආසිර්වාදම් දංකොටුව පෝර්සිලේන් පීඑල්සී සභාපති ධුරයෙන් විශ්‍රාම යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත දංකොටුව පෝර්සිලේන් පීඑල්සීහි සභාපතිවරයා වූ රාජන් ආසිර්වාදම් මහතා ධුරයෙන් විශ්‍රාම ගොස් ඇතැයි එම සමාගම පවසයි. පසුගිය සැප්තැම්බර් 29 වැනිදා පැවැති එම සමාගමේ වාර්ෂික මහා සභා රැස්වීමේ අවසානයත් සමගින්ම ඒ මහතා ධුරයට සමුදී තිබේ.

මෙම විශ්‍රාම යෑම සිදුවන අවස්ථාව වනවිට රාජන් ආසිර්වාදම් මහතා සතුව දංකොටුව පෝර්ස්ලේන් පීඑල්සී සමාගමෙහි කොටස් 3,000ක හිමිකාරීත්වයක් පැවැති බවද සමාගම සඳහන් කරයි.

ඒ මහතා 2017 වසරේදී දංකොටුව පෝර්සිලේන් පීඑල්සී සමාගමෙහි සභාපතිවරයා ලෙස පත් විය. දංකොටුව පෝසිලේන් පීඑල්සී සමාගම, ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත සමාගමකි.

දංකොටුව පෝර්සිලේන් පීඑල්සී සමාගමට සම්බන්ධවීමට පෙර ඒ මහතා මෙරට ප්‍රධාන පෙළේ සමාගම් රැසකම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ.

එයිට්කන් ස්පේන්ස් හොටෙල්ස් පීඑල්සී, බ්‍රවුන්ස් බීච් හොටෙල්ස්, සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී, කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී, ඩිල්මා ටීස්, මර්කන්ටයිල් මර්චන්ට් බෑන්ක් ලිමිටඩ්, රේනුකා හොටෙල්ස් ලිමිටඩ්, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී, ත්‍රී ඒකර්ස් ෆාර්ම්ස් පීඑල්සී, වැලිබල් වන් පීඑල්සී සහ යාර්ල් හොටේල්ස් ප්‍රයිවට් ලිමිටඩ් එම සමාගම් වෙයි.

Visits: 153