ධීවර වරායන්හි ආයෝජන ආරම්භ කිරීමට අභිලාෂ පත්‍ර ප්‍රධානය කෙරේ

ධිවර අමාත්‍යාංශයට අයත් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව ඇති ධීවර වරායන් 22 තුළ පෞද්ගලික ආයෝජකයින්ට සිය ආයෝජන ආරම්භ කිරීම සදහා ආයෝජනකයින් 09 දෙනෙකුට ආයෝජන අභිලාෂ පත්‍ර ප්‍රධානය කිරීම ඊයේ (2021.09.30) දින සිදු වී තිබේ.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුවිය. මේ සඳහා වන අයදුම්පත් කැදවා ඊට ඉදිරිපත් වූ 591ක අතුරින් මෙම 09 දෙනා තෝරා ගෙන තිබේ.

මෙහිදී බෝට්ටු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් හා දික්ඕවිට ධීවර වරායේ ටින්මාළු කර්මාන්ත ශාලාවක්ද, අනෙකුත් වරායන් වල ශීතාගාර හතරක් ඉදිකිරීමටද, තවත් ආයතන 02කට වෙනත් සේවාවන් සැපයීමටද අදාල අභිලාෂ පත්‍ර ප්‍රධානය කිරීම සිදු කර තිබේ.

මෙහිදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කළේ ධීවර කර්මාන්තයේ සංවර්ධනය සදහා පෞද්ගලික ආයෝජන ඉතා අවශ්‍ය බවත් ඒ අනුව මෙම අභිලාෂපත්‍ර ලබා ගන්නා ආයෝජකයින් හැකි කඩිනමින් සිය ව්‍යාපෘති ආරම්භ කල යුතු බවත්ය.

එසේ නොවුනහොත් එම අභිලාෂපත්‍ර අහෝසි කර වෙනත් ආයෝජකයින්ට ලබා දීම සිදුවන බවත් එසේම සංචාරක ව්‍යාපාරය ආරම්භ වීමත් සමග ධීවර වරායන් වල සංචාරක කර්මාන්තය දියුණු කිරීම කිරීම සදහා ආකර්ශණය ඇතිවන ලෙස සංවර්ධනය කල යුතු බවද ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙම කර්තව්‍ය ඉතා අපහසු කාර්යයක් වුවත්  ව්‍යාපාරකයින් 591 දෙනෙකු විසින් ඉල්ලුම් පත්යොමු කර තිබුණත් ඉන් 09 දෙනෙකු තෝරා ගෙන පළමු අදියර ලෙස මෙම ව්‍යපෘතිය ආරම්භ කිරීමට කටයුතු කළ බවත් ඒ තුලින් ධීවර කර්මාන්තයේ අභිවෘද්ධිය සැලසෙන බවද ප්‍රකාශ කර තිබේ.

මෙම සාකච්ඡාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය,රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම මහතා,ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති, සාමාන්‍යාධිකාරී ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.

Visits: 72