කොළඹ උද්ධමනය සැප්තැම්බරයේදී 5.7% දක්වා පහළට

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන සැප්තැම්බර් මාසයේ මතුපිට උද්ධමනය 5.7%ක අගයක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙය පසුගිය අගෝස්තු මාසයේදී වාර්තා වූ 6.0% කොළඹ මතුපිට උද්ධමනයට සාපේක්ෂව කැපී පෙනෙන පහළ යෑමකි. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේ පැවැති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු වී ඇතැයි සඳහන් වෙයි.

මෙහිදී 2021 සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස 0.47%ක් ලෙස සටහන්ව ඇත. එහිදී ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස පිළිවෙලින් 0.09%ක් සහ 0.38%ක් වී තිබේ. ඒ අනුව ආහාර කාණ්ඩයේ පරිප්පු, පාන් සහ කුකුල් මස් මිල ගණන් ඉහළ ගොස් ඇති අතර, සහල් සහ එළවලු මිල ගණන් පහළ යෑමක් වාර්තා වී තිබේ.

මේ අතර ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය (පවුලේ වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා වන ගෙවීම්) සහ අධ්‍යාපන (ජාත්‍යන්තර පාසල් ගාස්තු ප්‍රාථමික සහ ද්විතියික) යන උප කාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් වාර්තා වී තිබේ.

Visits: 94