අරුණි ගුණතිලක HNB සභාපති ධුරයට

මෙරට මුල් පෙළේ පෞද්ගලික වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවෙහි (HNB) නව සභාපතිනිය ලෙස අරුණි ගුණතිලක මහත්මිය පත් කර ඇතැයි එම බැංකුව පවසයි. ඊයේ (සැප්. 29 දා) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව ඇතැයි බැංකුව සඳහන් කරයි.

පසුගිය ජූලි 05 වැනිදා සිට හැටන් නැෂනල් බැංකුවෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ නිලන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්තවීමත් සමගින්ම හිස් වූ සභාපති ධුරය සඳහා මෙලෙස අරුණි ගුණතිලක මහත්මිය පත්කර තිබේ. ඇය 2021 අප්‍රේල් 01 වැනිදා සිට බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කළාය.

ඒ අනුව ගුණතිලක මහත්මිය හැටන් නැෂනල් බැංකුවෙහි විධායක නොවන/ස්වාධීන නොවන අධ්‍යක්ෂිකාවක ලෙස සභාපති ධුරයේ කටයුතු කරනු ඇතැයි බැංකුව පවසයි.

මූල්‍ය සේවා පිළිබඳ වෘත්තිකයෙකු වන අරුණි ගුණතිලක මහත්මිය සතුව බැංකු සහ කලාපීය මූල්‍ය වෙළෙඳ පොළ පිළිබඳව වසර 25කට අධික කාලයක අත්දැකීම් සහිත බව පවසයි.

බැංකු ක්ෂේත්‍රය තුළ ඇය අවසන් වරට සේවය ලබා දී ඇත්තේ මහජන බැංකුවෙහි සාංගමික බැංකුකරණ ප්‍රධානියා ලෙසිනි. මීට පෙර ඇය සිංගප්පූරුවෙහි ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවෙහි වාණිජ බැංකු සඳහා වන ණය අංශ ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇත. එසේම ඇය එම බැංකුවෙහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා වන ණය ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිය පිළිබඳ ගෞරව උපාධියක් හිමි කරගෙන ඇති ඇය, එක්සත් ජනපදයේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ හාර්වර්ඩ් නීති විද්‍යාලයෙන් නීතිය පිළිබඳ උසස් උපාධිය හදාරා ඇත. අද වනවිට ඇය Tea Small Holders Factories PLC, සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී යන ලැයිස්තුගත සමාගම්හි විධායක නොවන/ස්වාධීන අධ්‍යක්ෂවරියකු ලෙසද කටයුතු කරයි.

Visits: 308