මෙරට විශාලතම ධීවර වරායක් ලෙස වෙල්ලමංකර ධීවර වරාය විවෘත කිරීම නොවැම්බරයේදී

ශ්‍රී ලංකාවේ විශාලතම ධීවර වරායක් ලෙස වෙන්නප්පුවේ වෙල්ලමංකර ධීවර වරාය රුපියල් මිලයන 2,386ක මුදලක් වැය කරමින් ඉදිකෙරෙමින් පවතින බව ධීවර අමාත්‍යාංශය පවසයි. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සිදුකරන ලද විශාල සංවර්ධන යෝජනාක්‍රමයන් අතුරින් ධීවර ක්ෂෙත්‍රයේ සිදු කරන ලද  විශාලතම සංවර්ධන ව්‍යපෘතියක් ලෙස වෙල්ලමංකර ධීවර වරාය ඉදිරිකිරීම සැලකෙයි.

වෙල්ලමංකර ධීවර වරාය ඉදිකිරීමෙන් පසු ජනතා අයිතියට පත්කිරීම එලැඹෙන නොවැම්බර් මස සිදුකිරීමට බලාපොරොත්තු වන අතර එහි නිමවෙමින් පවතින වැඩ කටයුතු පිළිබද සොයා බැලීම සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඊයේ එහි නිරීක්ෂණයක නිරතවී ඇත.

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයාත් ඒ සඳහා සහභාගි වී තිබේ. 

මෙම වෙල්ලමංකර වරාය ශ්‍රී ලංකාවේ දැනට විශාලතම ධීවර වරාය ලෙස සැලකෙන දික්ඕවිට ධීවර වරායට වඩා විශාලත්වයෙන් වැඩි බව පැවසෙයි. මෙහි විශාල ධීවර බෝට්ටු නැවැත්විය හැකි අතර බහුදින ධීවර යාත්‍රා 800කට පමණ නැංගුම්ලෑමට හැකියාවක් ඇත.

විශාලතම දියකඩනයක් සහ ධීවර වරායක් සතු සියළුම අංගෝපාංගයන්ගෙන්ද, වරාය කළමණාකාර හා සේවක නේවාසිකාගාරයන්ද, ආපනශාලාවක්ද, වෙරළ ආරක්ෂ බලකා ඒකකයකින්ද මෙම ධීවර වරාය සමන්විත වේ. මීගමුව කලාපයේ ධිවරයන්ට පමණක් නොව මෙරට බහුදින යාත්‍රා ඇතුළු අනෙකුත් ප්‍රදේශවල ධීවරයන්ටද මෙම ධිවර වරාය මගින් සහන සැලසෙනු ඇත.

තවද වෙල්ලමංකර ධිවර වරාය විවෘත කිරීමත් සමග එම ප්‍රදේශයේ නව වෙළද සංකීර්ණයක් ගොඩනැගීම නිසා ප්‍රදේශයේ ජනතාවට විශාල ආදායම් මාර්ගයන්ද ලැබෙනු ඇත. ඒ වාගේම මෙම ධිවර වරාය ඉතා අලංකාර ධීවර වරායක් වන බැවින් ඉදිරි කාලයේදී සංචාරක කර්මානතය ආරම්භ කල විට මෙම ප්‍රදේශය සංචාරක පුරවරයක් ලෙසද සංවර්ධනය කිරීමටද හැකියාවක් පවතී.

මෙහිදී වරාය නිරීක්ෂණය කරමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කරන ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ  අවධානය මෙම ධීවර වරාය ඉදිකිරීම කෙරෙහි යොමු වී තිබෙන බවයි.

එසේම අග්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනය යෙදී ඇති නොවැම්බර් මාසයේදී මෙම ධීවර වරාය විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද පවසා ඇති අමාත්‍යවරයා, කඩිනමින් මෙම වරායේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලෙසද උපදෙස් දී තිබේ. එසේම ඉදිකිරීම් කටයුතු  සිදුකරන ලද නිළධාරීන්ට අමාත්‍යවරයා සිය ස්තුතිය පුද කර ඇත.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු  නිළධාරීන් රැසක් සහභාගී වී තිබේ.

Visits: 67